ශිෂ්‍ය පර්යේෂණ / Undergraduate Research

(1)

පාසල් ගුරුවරයා සිය භූමිකාව ඉ‍ටුකරන ආකාරය පාසල් ශිෂ්‍යයින් පෞද්ගලික උපකාරක පන්ති වෙත යොමුකරවීම කෙරෙහි බලපාන ආකාරය

H. G. දිමුතු චාන්දනී

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සාධනය කෙරෙහි වැඩි වැදගත්කමක් පාසලට හිමිවී පවතී. එසේ නමුත් අද වන විට විකල්ප අධ්‍යාපන ක්‍රමයක් වශයෙන් පෞද්ගලික උපකාරක පන්ති දිවයිනේ සැම ප්‍රදේශයකම පාහේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතී. ඒ හරහා සමාජය තුළ විවිධාකාරයෙන් හිතකර හා අහිතකර ප්‍රතිඵල ‍රැසක් උද්ගත වී පවතී. "පෞද්ගලික උපකාරක පන්ති" යන්න අද වන විට නිතර කතාබහට ලක්වන මාතෘකාවක් බවට පත්ව තිබේ. ජාතික පාසල් ක්‍රමයේ ගුණාත්මක අගය පිරිහීම, ජාතික අධ්‍යාපන කාර්යය තරඟකාරී ස්වභාවයක් ගැනීම, ශිෂ්‍යයන් හා දෙමාපියන් විවිධ සමාජ, ආර්ථික, මානසික හා අධ්‍යාපනික ගැටලුවලට මුහුණ දී තිබීම වැනි තත්ත්වයන් උද්ගතව තිබියදී වුවද උපකාරක පන්ති වෙත යොමුවීමේ ප්‍රවණතාව තවතවත් ඉහළ යන බව පෙනේ. මේ පිළිබඳව විවිධ පර්යේෂණ සිදු කර ඇති නමුත්, පාසල් ගුරුවරයාගේ භූමිකාව සම්බන්ධයෙන් (උපකාරක පන්ති වෙත යොමුවීමට) විශේෂ අවධානයක් යොමු වී නොතිබීම මෙම මාතෘකාව ‍තෝරා ගැනීමට හේතු විය.

පාසල් ශිෂ්‍යයින් උපකාරක පන්ති වෙත යොමුවීමට පාසල් ගුරුවරයා සිය භූමිකාව ඉ‍ටුකරන ආකාරය බලපාන්නේ කෙසේද යන්න අධ්‍යයනය කිරීම මාගේ පර්යේෂණයේ ප්‍රධාන අරමුණයි. තවද, පාසල් ගුරුවරු පිළිබඳ සිසුන් තුළ පවතින ආකල්ප සිසුන් උපකාරක පන්ති වෙත යොමුකරවීමට බලපාන ආකාරය අධ්‍යයනය කිරීම, උපකාරක පන්තිවලට සිසුන් යොමුකිරීමට බලපාන අධ්‍යාපනික හා සමාජයීය හේතු සාධක අධ්‍යනය කිරීම, පාසල සිසුන්ගේ අධ්‍යාපන හා සමාජයීය පරමාර්ථ සාධනය කරගැනීම කෙරෙහි පාසල් ගුරුවරයාගෙන් ඉ‍ටුවන මෙහෙයට වඩා මෙහෙයක් උපකාරක පන්ති තුළින් ඉ‍ටුවේද යන්න අධ්‍යනය කිරීම පර්යේෂණයේ උපපරමාර්ථ වේ.

කොළඹ දිස්ත්‍රික්කයේ බො‍රැල්ල ප්‍රදේශයේ පෞද්ගලික උපකාරක පන්තියක් පර්යේෂණ ක්ෂේත්‍රය ලෙස යොදාගෙන ඇති අතර, පෞද්ගලික උපකාරක පන්ති වෙත සහභාගී වන සිසුන්, දෙමාපියන් සහ ටියුෂන් ගුරුවරුන් පර්යේෂණයට සහභාගී වන්නන් වේ.

(2)

ස්ත්‍රි සමලිංගිකත්වය පිළිබඳ ශ්‍රී ලාංකික සමාජ ආකල්පය

උන්නතී සමරවීර

ස්ත්‍රී සමලිංගිකත්වය පිළිබඳ ශ්‍රී ලාංකික සමාජ ආකල්පය යන මාතෘකාව පිළිබඳ ශ්‍රී ලාංකික සන්දර්භය ආශ්‍රිතව සිදු කරන ලද සමාජ විද්‍යාත්මක පර්යේෂණ විරලය. එසේම ශ්‍රී ලාංකික සන්දර්භය තුළ ඊට යොමු වී සිටින්නන්, ස්වකීය සමලිංගික අනන්‍යතාව සඟවාගෙන සමාජය තුළ ජීවත් වෙන බව, මා විසින් හඳුනා ගනු ලැබූ සංවිධාන දෙක මඟින් ද මා වෙත දැන ගනීමට ලැබිණ. ඒ අනුව, හුදෙක් ලිංගික දිශානතිය මත පදනම්ව ගොඩනැ‍ඟෙන අතිශය පුද්ගලික චර්යාවක් වශයෙන් මෙකී තත්ත්වය හඳුනා ගැනීමට ශ්‍රී ලාංකික ප්‍රජාවට තවමත් හැකි වී නොමැතිද? නො එසේ නම් මේ පිළිබඳ ගොඩ නැඟී ඇති සමාජ ආකල්පය කුමන ස්වරූපයක් ගනීද? යන්න සොයා බැලීමේ අවශ්‍යතාවය මත මෙම පර්යේෂණය දියත් කෙරේ.

සාහිත්‍ය මූලාශ්‍ර තහවුරු කරන පරිදි සමාජ අපගාමී චර්යාවක් වශයෙන් දැඩි ලෙස බහිෂ්කරණයට ලක් වන සමලිංගික චර්යාව පිළිබඳ ශ්‍රී ලාංකික සමාජ සන්දර්භය තුළ ව්‍යාප්තව පවතින සමාජ ආකල්පය නිවැරදිව වටහා ගෙන, ඒ තුළින් ඔවුන් වෙනුවෙන් සමාජ වෘත්තිවේදී භූමිකාව ඉ‍ටු කළ හැකි සන්ධිස්ථාන නිශ්චිතව හඳුනා ගැනීම මෙම පර්යේෂණයේ ප්‍රධාන අරමුණයි. එකී සමාජ ආකල්පය විවිධ පුද්ගල සමාජ, ආර්ථික පසුබිම් මත වෙනස් ස්වරූප දරන්නේද? යන්න විමර්ශනය කිරීම සහ ස්ත්‍රි සමලිංගිකත්වය ශ්‍රී ලාංකික සන්දර්භය තුළ නීතිගත කිරීමේ යෝග්‍යතාවය සම්බන්ධයෙන් ව්‍යාප්තව පවතින සමාජ ආකල්පය පැහැදිළිව අවබෝධ කොට ගැනීම පර්යේෂණයේ සුවිශේෂී අරමුණු වේ.

කාන්තා අයිතීන් වෙනුවෙන් ක්‍රියාත්මක වන කොළඹ දිස්ත්‍රික්කයෙහි පිහිටි එක්තරා සංවිධානයක් සහ කොළඹ විශ්ව විද්‍යාලයීය ශාස්ත්‍ර පීඨය යන ක්ෂේත්‍ර දෙක මෙම පර්යේෂණ සඳහා යොදා ගැනේ.

(3)

සහභාගිත්ව සංවර්ධන සංකල්පය යටතේ ක්‍රියාත්මක "ගැමිදිරිය" වැඩසටහන අදාල සංවර්ධන ඉලක්ක ළඟාකර නොගන්නේ ඇයි?

එමි.ඩි. හසිත ප්‍රියංකර පිරිස්

ශ්‍රී ලංකාව සැලකෙන්නේ සංවර්ධනය වෙමින් පවතින රටක් හැටියටය. ඒ නිසාම මෙරට තුළ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති සංඛ්‍යාවද අතිවිශාලය. එනමුත් ශ්‍රී ලංකාවට තවමත් අදාල සංවර්ධිත ඉලක්කයන් ළගාකරගැනිමට හැකියාවක් ලැබි නැත. මෙම සංවර්ධන ක්‍රියාවලිය තුළදී විශේෂ අවධානයක් ග්‍රාමිය සංවර්ධනය කෙරේ යොමුකොට ඇතත් එමගින් ඉටුකර ගැනිමට බලාපොරොත්තු වු සංවර්ධන මටිටම ළගාකර නොගත් බව වර්තමානය වන විටත් ශ්‍රි ලංකාවේ ග්‍රාමිය ප්‍රදේශවල පවතින සංවර්ධන මටිටම දෙස බැලිමෙදි පැහැදිලිය. මෙවන් හේතුන් නිසාම අතිතයේ සිට වර්තමානය දක්වාම ග්‍රාමිය සංවර්ධනය සදහා ග්‍රාමෝදය මණ්ඩල, විපර්යකාරක වැඩසටහන, ජනසවිය, සමෘද්ධිය, ගමනැගුම වැනි වැඩසටහන් ක්‍රියාත්මක කර තිබේ. මෙම ව්‍යාපෘති අතරින් අනෙක්වාට වඩා ගැමිදිරිය වැඩසටහන සුවිශේෂ වැදගත්කමක් ගන්නේ එය ගොඩනැගි ඇත්තේ සහභාගිත්ව සංවර්ධන ප්‍රවේශය යටතේ විමයි. මේ නිසාම මෙයට ජනතාවට තම දායකත්වය සෘජුවම මීට සැපයිමට හැකියාවක් පවති. එමෙන්ම සියලු පරිපාලන කටයුතුවලට සහභාගි විමටද අවස්ථාවක් පවති. තවද මෙම වැඩසටහන යටතේ දිළිදු ජනතාව සවිබල ගැන්විමට අදාලව ක්‍රියාමාර්ගයන්ද ගෙන තිබේ. එනමුත් අදාල පර්යේෂණ ක්ෂේත්‍රය තුළදී මෙම වැඩසටහනට ජනතා දායකත්වය ඉතාමත් උදාසීන මටිටමක් ගෙන තිබිම මාගේ අවධානයට යොමුවු අතරම මේ සදහා කිනම් තත්වයන් හේතුසාදක වි තිබේදැයි මෙම අධ්‍යනය මගින් හෙලිකරගැනිමට නියමිතය.

මෙම පර්යේෂණය තුළදී පර්යේෂණ ක්ෂේත්‍රය බවට පත් වන්නේ මොනරාගල දිස්ත්‍රික්කයේ සියඹලාණ්ඩුව ප්‍රාදේශියලේකම් කොටිඨාශයේ අංක 123 ජේ කරඹගොඩ ග්‍රාමනිළධාරි වසෙමි “කරඹගොඩයාය” ගම්කොටසයි.

මෙම පර්යේෂණයට අදාලව ළඟාකර ගැනිමට බලාපොරොත්තු වන අරමුණු කිපයක් පවතින අතරම ඉන් ප්‍රමුඛ පරමාර්ථය වන්නේ පර්යේෂණයට අදාල ගැටළුවට පිළිතුරු ලබාගැනිම වන අතරම සෙසු පරමාර්ථයන් වන්නේ මෙවන් සංවර්ධන වැඩසටහන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප විමට හේතු වටහා ගැනිමත්, එම තත්වයන් උපාය මාර්ගිකව විසදාගැනිමට හැකි ආකාරය පිළිබඳව විශ්ලේශනයක් ඉදිරිපත් කිරිමටත්, ජනතාව සවිබල ගැන්විය හැක්කේ කුමන ආකාරයටද? යන්න වටහා ගැනිමටත්ය. තවද, එම වටහාගැනීම්වලට අනුව සවිබලකරණයට අදාලව යෝජනා ඉදිරිපත් කිරිමටද බලාපොරොත්තු වේ.

(4)

අපයෝජනයට ලක්වූ ගැහැණු ළමුන් ප්‍රතිසමාජගත කරනු වස් ශී ලාංකේය සමාජ සන්දර්භය තුළ පවතින ක්‍රමෝපායන්හි සාර්ථකත්වය

සාරංගා අතුකෝරල

ළමා අපයෝජනය වූ කලී දිනෙන් දින උත්සන්නවන ප්‍රබල සමාජ ගැටළුවක් බවට අදවන විට පත්ව ඇත. ඉතා සරල අන්දමින් අර්ථ දක්වන්නේ නම්, ළමා අපයෝජනය යනු ළමයාගේ අයහපතට හේතුවිය හැකි දෙයක් කිරීමයි.

එනමුත් අපයෝජයන්ට ගොදුරුවූ ළමුන්ගේ අනාගත සුරක්ෂිතභාවය පිණිස පවතින පුනරුත්ථාපන ක්‍රමෝපායන්හි සාර්ථක අසාර්ථකත්වය කෙබඳුදැයි සොයා බලා සිදු කළයුතු වෙනස්කම් පෙන්වාදීම කෙරේ පර්යේෂකයින්ගේ අවධානය යොමුවීම අල්ප වශයෙන් සිදුවීම හේතු කොටගෙන මෙවැනි වූ අධ්‍යයනයක් සිදු කිරීමට යොමු විය.

සුපසන් සමාජයක හෙට දවස උදාකරලන්නාවූ දුවාදරුවන් මෙවැනි අභාග්‍ය සම්පන්න සිද්ධීන්ට ගොදුරු වීමෙන් පසු සම්ප්‍රදාය හා සංස්කෘතිය ඉහල තලයෙහිලා සැලකෙන අපේ වන් සමාජයක අපයෝජනයට ලක්වූ දරුවන් ප්‍රතික්ෂේප වන්නේ නිතතින්මය. මෙයින්ද ගැහැණු ළමයා විශේෂ වෙයි. මන්දයත් ස්ත්‍රී පුරුෂ අසමානතාවය අප සමාජයන්හි ගැඹුරටම කිඳාබැස තිබීම හේතුවෙන් ගැහැණු ළමයෙකුගේ සුරක්ෂිතභාවය කෙරේ නොයෙකුත් බාධා එල්ල වීමයි. මෙවැනි තත්වයන් මත සමාජයෙන් ප්‍රතික්ෂේපවූ ගැහැණු ළමුන් පුනරුත්ථාපනයකොට ප්‍රතිසමාජගත කිරීමට රජය මෙන්ම වෙනත් වගකිවයුතු ආයතනද විවිධ ක්‍රමෝපායන් පුනරුත්ථාපන මධ්‍යස්ථාන හරහා දියත් කරනු ලබයි.

එනමුත් ඔවුන් අනුගමනය කරන්නාවූ ක්‍රමෝපායන් වත්මන් ලාංකේය සමාජ පසුබිමත් සමග කෙතරම්දුරට සාර්ථක ප්‍රතිඵල අත්පත් කරගන්නේද යන වග සොයාබැලීම මෙම අධ්‍යයනය හරහා මූලිකවම අරමුණු කරගන්නා අතර වෙනස්වන සමාජ රටාවත් සමග එම ක්‍රමෝපායන්හි සිදුකළ යුතු වෙනස්කප් පෙන්වාදීමට ද අපේක්ෂා කරයි.

මේ ඔස්සේ අධ්‍යයනය දියත් කරලීමට ළමාරක්ෂක දෙපාර්තමේන්තුව යටතේ පවතින බස්නාහිර පළාතේ බාලිකා පාසලක් ක්ෂේත්‍රය ලෙසත් එහි මේවන විට පුනරුත්ථාපනය ලබමින් සිටින ළමුන් පරිපාලන නිලධාරීන් හා ගුරුවරුන් සහභාගී කරවාගනිමින් දත්ත හා අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට කටයුතු කරන අතර අවසන් වශයෙන් අපයෝජනයට ලක්වූ ගැහැණු ළමුන්ගේ අනාගත සුරක්ෂිතභාවය මෙම පුනරුත්ථාපන ක්‍රමෝපායන් හරහා සිදුවන්නේ දැයි සොයා බලා සිදුකළ යුතු වෙනස්කම් පෙන්වා දීමට අපේක්ෂා කරමි.

(5)

නාගරික සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් නැවත පදිංචි කරන ප්‍රජාවගේ සමාජ චල්‍යතාවය

චන්දිමා විජයගුණවර්ධන

මාගේ අධ්‍යයනය තුළින් විමසා බැලීමට උත්සහ දරනුයේ නාගරික සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී බලපෑමට ලක්ව නැවත පදිංචි කරන ප්‍රජාවෙහි සමාජ චල්‍යතාවය පිළිබඳවය. බොහෝවිට සංවර්ධන ව්‍යාපෘතීන්හි අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා එම ව්‍යාපෘති ක්‍රියාත්මකවන ප්‍රදේශයන්හි ජීවත්වූ ප්‍රජාව වෙනත් ස්ථානයන්හි නැවත පදිංචි කිරීමේ අවශ්‍යතාවය මතු වේ. එම ක්‍රියාවලිය හුදෙක් තම නිවස හෝ ඉඩම අහිමිවූ ප්‍රජාවට වෙනත් නිවසක් හෝ ඉඩමක් හිමිකරදීම පණක් නොවන අතර එහිදී පුද්ගලයාට අහිමිවන ජීවන මාර්ග, අසල්වැසියන් සමඟ පැවැත්වූ සබඳකම්, ප්‍රජාවේ සම්පත්වලට තිබූ ප්‍රවේශයන් හා තම වාසභූමියන්ට ආවේණිකවූ සුළු සංස්කෘතීන් ආදිය නැවත ළඟාකර දීමට හැකි පරිසරයක් ද නිර්මාණය කිරීම වැදගත්වේ.

මෙහිදී මාතෘකාවට අදාලව තොරතුරු සම්පාදනය කිරීම සඳහා ලුනාව පරිසර ප්‍රවර්ධන හා ප්‍රජා සංවර්ධන ව්‍යාපෘතිය තුළින් බලපෑමට ලක්ව නැවත පදිංචි කරන ලද ප්‍රජාව හරහා ප්‍රත්‍යේක අධ්‍යයනයක් කිරීම සිදුවේ.

මෙම ව්‍යාපෘතිය හේතුවෙන් නැවත පදිංචිවූ ප්‍රජාවගේ සමාජ චල්‍යතාවය පිළිබඳව අධ්‍යයනය කිරීම මූලික අරමුණක්වන අතර ඊට අමතරව අධ්‍යයනය තුළින් ලබා ගන්නා තොරතුරු ඔස්සේ පුළුල්ව යමින් තවත් අරමුණු කිහිපයක් සපුරා ගැනීමට අපේක්ෂා කරමි. එනම්, පුද්ගලයා ජීවත්වන පරිසරය කොතෙක් දුරට එම පුද්ගලයාගේ ජීවන පැවැත්ම ගොඩනගා ගැනීමට බලපෑමක් ඇති කරන්නේද, විවිධ සමාජ මට්ටම්වලින්, විවිධ වෘත්තීය මට්ටම්වලින් සදුම්ලත් විශාල ජන ඝනත්වයක් පවතින නාගරික සීමාවන් තුළ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වීමේදී සිදුවන බලපෑම විවිධාකාර විය හැක. එම විවිධත්වය පිළිබඳව අවධානය යොමු කරමින් නැවත පදිංචිවූ ප්‍රජාවගේ සමාජ, ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික වශයෙන් වෙනස්වීමක් සිදුවේද යන්න මතුකර දැක්වීමට අපේක්ෂා කරමි. මෙම විවිධත්වයත් සමඟ පුද්ගලයාට කොතරම් දුරට ඉහළ සමාජ චල්‍යතාවයක් හිමිකරගත හැකෙවේද යන්න පිළිබඳව අධ්‍යයනය කිරීම ඉතා වැදගත් මෙන්ම කුතුහලය දනවන කරුණක් ද වන බැවින් මෙවැනි අධ්‍යයක් කිරීමට මා පෙළඹුන අතරම ග්‍රාමීය පරිසරයකට වඩා නාගරික පරිසරයක් තුළ කැපීපෙනෙන ලක්ෂණවන ඉඩමට ඇති තරඟකාරීත්වය වැනි සුවිශේෂීතාවයන් සමඟ ගොඩනැගෙන නගරයක නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලිය අධ්‍යයනය කිරීම වඩාත් වැදගත්වේ යැයි හැඟුණු නිසාවෙන්ද මෙවැනි අධ්‍යයනයක් සඳහා මා යොමු විය.

(6)

ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය සහ ලාංකීය ස්ත්‍රියගේ පළාත් පාලන දේශපාලන සහභාගීත්වය

නිරෝෂා පතිරණ

ගරුත්වය සහ අයිතිවාසිකම් තුළින් සියළුම මනුෂ්‍යයෝ සමානයෝ ය” යනුවෙන් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප‍්‍රකාශනයේ පළමු වගන්තියෙන්ම පිළිගෙන ඇත. එහෙත් ප‍්‍රායෝගික ක‍්‍රියාකලාපය තුළ ශ‍්‍රී ලාංකීය සන්දර්භය පරීක්ෂා කිරීමේ දී එවැනි තත්ත්වයක් ක‍්‍රියාත්මක නොවෙයි. එහි දී ප‍්‍රධාන ක්ෂේත‍්‍රයක් වශයෙන් දේශපාලන ක්ෂේත‍්‍රය හැදින්විය හැකිය. විශේෂයෙන් ශ‍්‍රී ලංකාව වැනි සමාජ සංස්කෘතික ආකල්ප සහිත දකුණු ආසියාතික රාජ්‍යයක, ස්ත‍්‍රිය හා පුරුෂයා අතර ඇති වෙනස නිසාම ස්ත‍්‍රියට, එම ගරුත්වය හා අයිතිවාසිකම් භුක්ති විදීමේ අවස්ථාවන් පුරුෂයන්ට සාපේක්ෂව ඇහිරී ගොස් ඇත.

ශ‍්‍රී ලාංකීය ජනගහනයෙන් අඩකටත් එනම් 53%ක් පමණ ස්ත‍්‍රීන් නියෝජනය කළත් තීරණ ගැනීමේ කි‍්‍රයාවලිය තුළ ස්ත‍්‍රීන් නියෝජනය 5%කටත් අඩු ප‍්‍රතිශතයක් බව සංඛ්‍යා ලේඛණ සහ සාහිත්‍යය විමර්ෂණයේ දී වටහා ගත හැකි විය. එබැවින් ශ‍්‍රී ලංකාවේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව මගින් සමානාත්මතා සංකල්පය පිළිගෙන තිබිය දීත්, ලාංකීය ස්ත‍්‍රියගේ පළාත් පාලන දේශපාලන අඩු සහභාගීත්වය කෙරෙහි බලපාන්නා වූ සාධක, අරණායක ප‍්‍රාදේශිය සභාවට අයත් භූමි ප‍්‍රදේශය පර්යේෂණ ක්ෂේත‍්‍රය වශයෙන් යොදා ගනිමින් ක්ෂේත‍්‍ර පර්යේෂණය සිදු කරන ලදි.

ස්ත‍්‍රී දේශපාලන සහභාගීත්වය කෙරෙහි ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය බලපෑම් කරන්නේ ද යන්නත්, දේශපාලන කටයුතුවල නිරත වීමේ දී කාන්තාවන්ට මුහුණ දීමට සිදුවන බාධාකාරී තත්ත්වයන් හදුනා ගැනීමත්, ස්ත‍්‍රීන්ගේ දේශපාලන කටයුතු පිළිබඳව පුරුෂයන් දරණ මතය හදුනා ගැනීමත්, ස්ත්‍රීන්ගේ අධ්‍යාපන සහ ආර්ථික තත්ත්වයන් දේශපාලන සහභාගීත්වයට බලපෑම් කරන ආකාරය අවබෝධ කර ගැනීමත් මෙම ක්ෂේත‍්‍ර පර්යේෂණයේ අරමුණු විය. තව ද ගැඹුරු සම්මුඛ සාකච්ඡා මගින් ගුණාත්මක තොරතුරු ලබා ගත් අතර ප‍්‍රශ්නාවලීන් තුළින් ගුණාත්මක සහ ප‍්‍රමාණාත්මක දත්ත ලබා ගත හැකි විය. එහි දී ස්ත‍්‍රීන් තිස් දෙනෙකු සහ පුරුෂයන් තිස් දෙනෙකු නියැදිය වශයෙන් යොදා ගත් අතර විවිධත්වයෙන් සහ විෂමතාවයෙන් යුක්ත තොරතුරු ලබා ගත හැකි විය. ක්ෂේත‍්‍රය තුළ දී විවිධ සීමාකම් මතු වුව ද ආචාර ධර්මානූකූලව විධිමත් සමාජ විද්‍යාත්මක පර්යේෂණයක් වශයෙන් මෙම ප‍්‍රායෝගික හා කාලීන ගැටළුවට තොරතුරු සහ දත්ත එක්රැස් කර ගත හැකි විය.

(7)

කොළඹ නගරයේ කුණු කඳු ආශ‍්‍රිතව පැන නැගී ඇති පොදු ගැටළු පිළිබඳව සමාජ විද්‍යාත්මක අධ්‍යයනයක්

එන්. ජී. වර්ණ කුලසූරිය

අනිසි ලෙස කසල බැහැර කිරීම හේතු කොට ගෙන කුණු කඳු නිර්මාණය වන අතර එවැනි කුණු කඳු කීපයක්ම කොළඹ නගරය ආශ‍්‍රිතව දක්නට ලැබෙයි. කොළඹ 14, වේල්ලවීදිය ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බ්ලූමැන්ඩල් ග‍්‍රාම නිළධාරී වසමේ ”මහවත්ත” ප‍්‍රදේශයේ දක්නට ලැබෙන කුණු කන්ද ඉන් විශාලතම කුණු කන්ද බව නොරහසකි. එම කුණු කන්ද විශාල ප‍්‍රදේශයක් පුරා පැතිර තිබීමත්, ඒ අවට අඩු ආදායම්ලාභී පැල්පත් නිවාසවල ජීවත්වන වැසියන් විශාල ප‍්‍රමාණයක් සිටීමත් නිසා ඔවුනට කුණු කන්දෙන් සිදුවන සමාජීය බලපෑම ඉමහත්ය. පාරිසරික ගැටළු රැසකට ද හේතු වන මෙම කුණු කන්ද, ඒ අවට ජීවත් වන ජනයාගේ සෞඛයට, ආර්ථිකයට මෙන්ම අධ්‍යාපනයට විශාල බලපෑමක් කරනු ලබන බව එම ක්ෂේත‍්‍රය අධ්‍යයනයට බදුන් කරනු ලබන කා හට වුව ද අවබෝධ වනු ඇත.

මෙම සමාජ විද්‍යා පර්යේෂණයේ ප‍්‍රධාන අරමුණු කීපයක් පහත පරිදි පෙන්වා දිය හැකිය. ඒ අනුව කුණු කඳු මගින් සිදු වන පාරිසරික හා සමාජීය ගැටළු පිළිබඳව සමාජ විද්‍යාත්මක අවබෝධය ලබා ගැනීම, කුණු කදු ආශ‍්‍රිතව ජීවත්වන ජනයාගේ ජීවන තත්ත්වය පිළිබඳව යථාර්ථය විමසා බැලීම, නීති විරෝධි ක‍්‍රියා සිදු කිරීමට කුණු කඳු ආශ‍්‍රිත පරිසරය හේතු වනවා ද යන්න සොයා බැලීම, මෙවැනි කුණු කඳු මගින් ප‍්‍රයෝජන ලබා ගන්නා පිරිස් සිටිනවා ද යන්න සොයා බැලීම, මෙවැනි ගැටළු සම්බන්ධයෙන් ගෙන ඇති ආයතනික ක‍්‍රියාමාර්ග විමසා බැලීම, බ්ලූමැන්ඩල් කුණු කන්ද තුළින් සිදුවන පොදු ගැටළු (සමාජ හා පාරිසරික ගැටළු) නිරාකරණයට අවශ්‍ය විසදුම් ඉදිරිපත් කිරීම යනාදී පර්යේෂණ අරමුණු පෙන්වා දිය හැකිය.

බ්ලූමැන්ඩල් කුණු කන්ද පිහිටා තිබෙන ප‍්‍රදේශය අවට ජීවත්වන ජනයාගේ තොරතුරු හා අදහස් මත පර්යේෂණය සිදු කරන ලබන අතර කොළඹ මහ නගර සභාව, මධ්‍යම පරිසර අධිකාරිය, නාගරික සංවර්ධන අධිකාරිය වැනි ආයතන මගින් මෙම ගැටළුව සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ක‍්‍රියාමාර්ග පිළිබඳව ද විමසා බලනු ලැබේ. මෙලෙස වත්මන් සමාජීය හා පාරිසරික ගැටළුවක් පිළිබඳව අධ්‍යයනය කිරීම තුළින් සමාජයට සෙතක් අත්වනු ඇතැයි අපේක්ෂා කරමි.

(8)

The causes and results of child labor in plantations

S. Jegan Prakash

Today, it is clear that child labor is one of the major social issues in the world. In Sri Lanka too, children are illegally used for various kinds of work. According to the literature available on child labor in Sri Lanka, most of the child laborers are found in the plantation sector.

However, it appears that researchers have not paid adequate attention to the topic of child labor in plantations. Therefore, as a university student from a rubber estate in the Kurunegala Distict, I decided to do my dissertation on this particular topic. The objectives of my research are; (1) To ascertain the influence of poverty on child labor in plantations, (2) To explore the importance of education in reducing child labor, (3) To ascertain the positive and negative effects of child labor, and (4) To find out the attitudes of working children towards child labor.

To address these objectives, I have selected a tea estate in the Kegalle District as my field of research. I hope to conduct in-depth interviews a sample of 25 child laborers from this estate during my research.

(9)

Understanding Sri Lankan university students’ intentions to migrate overseas

Tamara Nissanka

As a Sri Lankan I have seen that many people in my country are constantly driven by the desire to migrate to foreign countries, whether it be for permanent settlement, employment, education or any other purpose. Migrating abroad is generally regarded by Sri Lankans as a doorway to ‘success’, and the student community in the University of Colombo looked more or less like a scaled-down version of the larger Sri Lankan society in this respect. This informal observation is what motivated me to do my dissertation on Sri Lankan university students who have an intention to migrate overseas.

The objectives of my research are to understand; (1) the factors that have created an intention for migration among Sri Lankan university students, (2) the reasons as to why they prefer certain countries over others for migration, (3) the nature of influence migrant networks has on their intentions to migrate, and (4) the factors that discourage them from migrating even when a preference for migration exists.

I hope to conduct in-depth interviews with selected undergraduates from the Faculty of Arts of the University of Colombo for my study. Since this would not be a longitudinal study, I have no way of comparing the participants’ migration intentions with their future migration behaviour. Therefore, the participants would be identified as ‘potential migrants’ and the focus of the research would be on their stated intentions for international migration at the time of the research.

 

Introductions to more student research topics will be added soon…

Comments

  • Hasitha  On January 5, 2011 at 11:14 am

    dear if we can use other sinhala font it will be very use full for our writings.Becase some sinhala words make wrong ideas for our writings.plese pay your attention for that.

  • socioscope  On January 5, 2011 at 2:56 pm

    Thank you for your comment Hasitha. The issue is that all Sinhala fonts are not compatible with the web. That is why we use ‘iskola pota’ for this blog. However, the real time unicode converter created by the UCSC is useful if you need to convert a few other Sinhala fonts into unicode. Here is the link: http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/

  • deeps  On May 24, 2011 at 7:21 am

    hi,

    I’m a student of sociology in UoP and found the blog quiet interesting. I just want to say it is better if you guys change the layout of the blog so that we do not have to come to the home page each time we want to browse to another post.

    for example, it is better to have a list of blog posts in each page.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: