ක්ෂේත්‍ර පර්යේෂණ පුහුණු වැඩසටහන – 2010

තමාරා නිශ්ශංක සහ තනූජා පෙරේරා

 වැඩසටහන සඳහා සහභාගී වූ සිසුන් සහ ආචාර්ය මණ්ඩලය. ඡායාරූප: ක්‍රිශාන් චින්තක

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යනාංශය විසින් අවසන් වසර සමාජවිද්‍යා විශේෂවේදී සිසුන් වෙනුවෙන් සංවිධානය කළ ‘2010 ක්ෂේත්‍ර පර්යේෂණ පුහුණු වැඩසටහන’ මේ මස 19, 20, 21, සහ 22 යන දිනයන් හි සාර්ථකව පැවැත්වුණි. මෙම වැඩසටහනේ අරමුණ වූයේ ක්ෂේත්‍ර පර්යේෂණයක නියැලීමේ දී අවධානය යොමු කළ යුතු විවිධ පැතිකඩ පිළිබඳව සිසුන් හට මනා අවබෝධයක් ලබා දීමයි. ප්‍රථම වසරේ සිට සමාජවිද්‍යා පර්යේෂණ පිළිබඳ පන්තිකාමරයේ ලැබූ දැනුම ප්‍රායෝගිකව යොදාගන්නා ආකාරය සිසුන් හට පුහුණු කිරීම මෙම වැඩසටහන හරහා සිදු විය. එහි දී, පර්යේෂණයක් කිරීමේ දී වැදගත්වන ආචාරධර්ම, ප්‍රමාණාත්මක හා ගුණාත්මක තොරතුරු එක් ‍රැස් කිරීම, දත්ත එක් ‍රැස් කිරීමේ ශිල්පීය ක්‍රම භාවිතය, හා පර්යේෂණයට ලක්වන්නන් සමග ගනුදෙනු කරන ආකාරය වැනි දෑ අත්දැකීමෙන් ඉගෙනගැනීමට සිසුන්හට අවස්ථාව ලැබුණි. මෙවර වැඩසටහන සඳහා පර්යේෂණ ක්ෂේත්‍රය ලෙස යොදාගනු ලැබුවේ ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පනහඩුව, බිසෝකො‍ටුව, ගඟේයාය සහ රත්කැ‍රැව්ව යන ග්‍රාමයන් හතරයි.

පර්යේෂණ ක්ෂේත්‍රයට පිවිසීමට පෙර වැඩසටහන පිළිබඳව සිසුන් දැනුවත් කිරීමේ ‍රැස්වීමක් මේ මස 10 වැනි දින සමාජවිද්‍යා අධ්‍යනාංශය විසින් කැඳවනු ලැබීය. වැඩසටහනට සම්බන්ධ වූ සිසුන් කණ්ඩායම් අටකට බෙදා තිබූ අතර සෑම ග්‍රාමයකට ම කණ්ඩායම් දෙක බැගින් සහභාගී වී පර්යේෂණ කටයුතු සිදු කිරීමට නියමිත විය. ක්ෂේත්‍ර පර්යේෂණයේ දී ගුණාත්මක තොරතුරු පහත සඳහන් මාතෘකා යටතේ එක් ‍රැස් කිරීමට නියමිත විය.

1. වෙනස්වෙමින් පවතින ජීවනෝපායන් සහ ආහාර සුරක්ෂිතභාවය හා සම්බන්ධ ගැටලු.

2. පවුල් ව්‍යූහයේ වෙනස්කම් සහ ඒ ආශ්‍රිත ගැටලු.

3. තාරුණ්‍යය සහ ප්‍රජා අනුකලනයේ ගැටලු.

4. ප්‍රචණ්ඩත්වය හා සම්බන්ධ ගැටලු.

තව ද, ක්ෂේත්‍ර පර්යේෂණ පුහුණු වැඩමුළුවක් මැයි 17 වනි දින අධ්‍යනාංශය විසින් සංවිධානය කර තිබුණි. මෙහි දී පර්යේෂණ ආචාරධර්ම පිළිබඳව ආචාර්ය කුමුදු කුසුම් කුමාර දේශනයක් පැවැත්වූවේය. පර්යේෂණය සඳහා භාවිතා කිරීමට නියමිතව තිබූ ප්‍රශ්නාවලිය හා සම්බන්ධ කරුණු චන්ද්‍රසිරි නිරිඇල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවට ලක් විය. ගුණාත්මක තොරතුරු එක් ‍රැස් කිරීමේ දී අවශ්‍යවන සම්මුඛ සාකච්ඡා සඳහා වූ නිර්ණායක (interview guides) ගුරුවරුන්ගේ මඟපෙන්වීම යටතේ සකස් කිරීම හා ඒවා ඉදිරිපත් කිරීම ද එදින එක් එක් කණ්ඩායමට පැවරුණි. එලෙස ඉදිරිපත් කළ නිර්ණායක ගුරුවරුන්ගේ සහ සිසුන්ගේ විචාරයට ලක් වූ බැවින් ඒවාහි දුර්වලතා මඟහරවා ගැනීමට හැකි විය.

ක්ෂේත්‍ර පර්යේෂණ පුහුණු වැඩසටහන සඳහා 19 වන දින පෙ.ව 5.30 ට පමණ කොළඹින් ගමන් ආරම්භ කල අපට පෙ.ව. 10.00 ට ඇඹිලිපිටියට ලඟා වීමට හැකි විය. ප්‍රථමයෙන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පිවිසි අප හට ඇඹිලිපිටිය යනුවෙන් පොදුවේ හඳුන්වනු ලබන ග්‍රාම නිලධාරී වසම් 40කින් සමන්විත ප්‍රදේශයට ප්‍රාදේශීය ලේකම් H.A.K. පුෂ්ප කුමාර මහතාගෙන් හැඳින්වීමක් ලැබුණි. ඉන් අනතුරුව අපගේ පර්යේෂණයට අදාල ග්‍රාමයන් හතරේ ග්‍රාම සේවා නිලධාරී මහතුන් තම තමන්ගේ බල ප්‍රදේශවල ජනගහනය, යටිතල පහසුකම්, ආර්ථික කටයුතු, සෞඛ්‍යය, අධ්‍යාපනය, ජනයා මුහුණපාන ගැටලු හා වෙනත් අංශ පිළිබඳ වැදගත් තොරොතුරු ඉදිරිපත් කළහ.

ඉන් පසුව අපි චන්ද්‍රිකා වැව ඒකක කාර්යාලයට පිවිසුනෙමු. එහි ඒකක කළමනාකාරතුමා සහ ඔහුගේ කාර්යමණ්ඩලය උඩ වලව වාරි ව්‍යාපෘතියේ ඉංජිනේරු කටයුතු හා කෘෂිකාර්මික කටයුතු හා සම්බන්ධ ප්‍රයෝජනවත් තොරතුරු ඉදිරිපත් කළහ. ජනතාවගෙන් බහුතරය කෘෂිකර්මාන්තයේ නියැලී සිටින ඇඹිලිපිටිය ප්‍රදේශය තුළ උඩ වලව වාරි ව්‍යාපෘතියේ කාර්යභාර්ය පිළිබඳව එහි දී අපි දැනුවත් වුනෙමු.

එසේ ලබාගත් දැනුම ද ඇතිව අපි කණ්ඩායම් වශයෙන් ගුරුවරුන් සමග අදාල ග්‍රාමයන්වලට පිටත්ව ගොස් පර්යේෂණ කටයුතු ආරම්භ කළෙමු. එදින අප සිදු කළේ ප්‍රශ්නාවලිය යොදාගනිමින් ගෘහාශ්‍රිත සමීක්ෂණයක් පැවැත්වීමයි. පවුලේ සාමාජිකයින්ගේ මූලික තොරතුරු, සංක්‍රමණය හා සම්බන්ධ චර්යාව, පෙර ජීවිකා වෘත්තීන්, කෘෂිකාර්මික ජීවන රටාව, සත්ත්ව පාලන කටයුතු, නිවස පිළිබඳ තොරතුරු, ප්‍රජා සහභාගීත්වය, සහ ඉතිරි කිරීම් හා ණය වැනි මාතෘකා යටතේ දත්ත එක් ‍රැස් කිරීම එහි දී සිදුවිය. ඒසේ දත්ත ‍රැස් කිරීමට අමතරව පර්යේෂණයේ ඉදිරි වැඩකටයුතු පහසුවෙන් කර ගැනීම සඳහා ගැමියන් සමග සම්බන්ධතාවක් ගොඩනඟා ගැනීමට ද එදින අවස්ථාව ලැබුණි. අදාල ගම්වලට ප්‍රවේශ වී ගැමියන් හමුවීම සඳහා ග්‍රාම සේවා නිලධාරී මහතුන්ගෙන් ලැබුණු සහයෝගය මෙහි දී ඉතා ඉහලින් අගය කළ යුතු වේ.

ප්‍රථම දිනට නියමිත පර්යේෂණ කටයුතු අවසන් කළ පසුව සිසුන් සහ ආචාර්ය මණ්ඩලයේ සාමජිකයින් නවාතැන් ගැනීම සඳහා ඇඹිලිපිටිය ග්‍රාමීය නායකයින් පුහුණු කිරීමේ ජාත්‍යන්තර මධයස්ථානයට පැමිණියහ. එදින සවස එක් එක් කණ්ඩායම තමන්ගේ නිරීක්ෂණ හා ක්ෂේත්‍ර අත්දැකීම් ඉදිරිපත් කළේය. ඉන් අනතුරුව පැවති සාකච්ඡාවේ දී සිසුන් අතින් ක්ෂේත්‍රයේ දී සිදු වූ වැරදි ආචාර්ය මණ්ඩලය විසින් පෙන්වා දුන් අතර ඉදිරියේ දී ඒවා නිවැරදි කරගැනීමට ද මඟපෙන්වන ලදී.

වැඩසටහනේ දෙවන සහ තෙවන දිනයන්හි දී විවිධ කණ්ඩායම් තමන්ට නියමිත ග්‍රාමයන්වල ගම්වැසියන් හමු වී ඉහත සඳහන් කළ මාතෘකා හතර යටතේ තොරතුරු එක් ‍රැස් කළහ. පෙර සකස් කරන ලද සම්මුඛ සාකච්ඡා සඳහා වූ නිර්ණායක මෙම දෙදින තුළ යොදාගත් අතර, ක්ෂේත්‍රය තුළ පැවති තත්ත්වයන්ට ගැලපෙන පරිදි එම නිර්ණායක අවශ්‍ය ලෙස සංශෝධනය කරගනිමින් තොරතුරු ‍රැස් කරන ලදී. ඒ සඳහා සහභාගී නොවන නිරීක්ෂණය, ගැඹුරු සම්මුඛ් සාකච්ඡා, අර්ධ ව්‍යූහගත සම්මුඛ සාකච්ඡා හා ඉලක්ක කණ්ඩායම් සම්මුඛ සාකච්ඡා වැනි ශිල්පීය ක්‍රම යොදා ගන්නා ලදී.

පර්යේෂණ මාතෘකාවලට අදාල තොරතුරුවලට අමතරව ගම්වැසියන්ගේ ජීවිත පිළිබඳ දැනුම් සම්භාරයක් මෙම තෙදින පුරා අසන්නට දකින්නට ලැබුණු දේ හරහා ලබාගැනීමට සෑම කණ්ඩායමකට ම හැකි විය. එනමුත් අපගේ අධ්‍යයනයට ලක් වූ පනහඩුව, බිසෝකො‍ටුව, ගඟේයාය සහ රත්කැ‍රැව්ව යන ගම්මාන පිළිබඳව සියලු තොරතුරු මේ කෙටි කාලය තුළ දී සොයාගත් බව මින් කිසිසේත් අදහස් නොවේ. මෙම ක්ෂේත්‍ර පර්යේෂණ පුහුණු වැඩසටහනේ ප්‍රධාන අරමුණ වූයේ පර්යෙෂණයක දී තොරතුරු එකතු කිරිමට සුදානම් විම, නිවැරදිව හා ආචර්යධාර්මනුකුලව තොරතුරු එකතු කිරිම, තොරතුරු සටහන් කරගැනිම හා එම තොරතුරු විශ්ලේෂණය කිරිම වැනි දේ සිසුන්හට පුහුණු කිරීමයි.

ක්ෂේත්‍ර පර්යේෂණ කටයුතුවලට අමතරව ඇඹිලිපිටිය අවට සංචාරක ස්ථාන දැකබලා ගැනීමට සිසුන්ට හා ආචාර්ය මණ්ඩලයට අවස්ථාව ලැබුණි. ඒ අනුව උඩ වලව ජලාශය, ඓතිහාසික මඩුවන්වල වලව්ව හා චන්ද්‍රිකා වැව නැරඹීමට හැකි විය. අප උඩ වලව ජාතික වනෝද්‍යානයට යාමට සූදානම් වුව ද, වර්ෂාවෙන් බාධා ඇති වූ නිසා රක්ෂිතය තුළට යාමට නොහැකි විය. ඇඹිලිපිටිය ප්‍රදේශයේ වාසය කරන සහෝදර ශිෂ්‍යාවක්වන ක්ෂේත්‍ර පර්යේෂණ පුහුණු වැඩසටහනට ද සම්බන්ධ වූ රෙණුකාගේ නිවසේදී උණුසුම් සංග්‍රහයක් භුක්තිවිඳීමට ද අපට අවස්ථාව උදාවිය.

වැඩසටහනේ සිව්වන දින වූ මැයි 22වන දා උදෑසන අපි නැවත කොළඹ බලා පිටත් වුනෙමු.

ක්ෂේත්‍ර පර්යේෂණ පුහුණු වැඩසටහන සංවිධානය කර, වැඩසටහන මුළුල්ලේ සිසුන්හට නිසි මාර්ගෝපදේශකත්වය ලබාදුන් සමාජවිද්‍යා අධ්‍යනාංශයේ ආචාර්ය මණ්ඩලයට අපි බෙහෙවින් කෘතඥ වෙමු. ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුලු කාර්යමණ්ඩලයට, චන්ද්‍රිකා වැව ඒකක කාර්යාලයේ කළමනාකාරතුමා ඇතුළු කාර්යමණ්ඩලයට මෙන් ම අපත් සමග සමීපව කටයුතු කළ ග්‍රාම සේවා නිලධාරී මහතුන්ට ද අපගේ ස්තූතිය හිමිවේ. තව ද ඇඹිලිපිටිය ග්‍රාමීය නායකයින් පුහුණු කිරීමේ ජාත්‍යන්තර මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලයට සහ වැඩසටහන පුරාවට අපගේ ප්‍රවාහනය සඳහා සේවය කළ රියදුරු මහතුන්ට ද අපි කෘතඥ වෙමු.

මෙම ‘2010 ක්ෂේත්‍ර පර්යේෂණ පුහුණු වැඩසටහන’ පාදක කොටගත් පර්යේෂණ වාර්තා මේ වනවිට සිසුන් විසින් සම්පාදනය කෙරෙන අතර, අධ්‍යනයට ලක් කළ ග්‍රාමයන්හි තොරතුරු සවිස්තරාත්මකව ගැඹුරින් එම වාර්තාවලින් සාකච්ඡාවට ලක් කෙරේ. එම වාර්තා මෙන් ම අප සහභාගී වූ එක් එක් ග්‍රාමය පිළිබඳ විස්තර සටහන් ඡායාරූප සමග මෙම බ්ලොග් අඩවිය හරහා ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

Post a comment or leave a trackback: Trackback URL.

Comments

  • SP  On May 30, 2010 at 3:49 pm

    This is a good introduction. Keep it up. Either this or an edited version can be included in the department’s fieldwork blog also. You may want to ask your friends to write poetry or photo based essays (photo essays) of their experience if they are adequately motivated. Good luck and best wishes, sp

  • Chamathka Devasirie  On May 31, 2010 at 12:40 am

    Thanks for this entry!:-)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: