චමත්කා දේවසිරි
සමාජවිද්‍යාව හදාරන අයට තර්කයක් ලිවීම පිළිබඳව පහත දැක්වෙන කරුණු කිහිපය වැදගත් වනු ඇති යැයි සිතුණු බැවින් මෙසේ පරිවර්තනය කර දක්වන්නට අදහස් කළෙමි. මෙය ජී. ගාර්ෆ්ගේ ‘ක්ලූලස් ඉන් ඇකඩීම්: හවු ස්කූලිං ඔබ්ස්කුව’ස් ද ලයිෆ් ඔෆ් ද මයින්ඩ්’ යන කෘතියේ අවසාන පරිඡ්චේදයේ සඳහන් වන කොටසයි. (ගාර්ෆ්, ජී 2003, ක්ලූලස් ඉන් ඇකඩීම්: හවු ස්කූලිං ඔබ්ස්කුව’ස් ද ලයිෆ් ඔෆ් ද මයින්ඩ්, යේල් යුනිවර්සිටි ප්‍රෙස්, ලන්ඩන්.)
තර්කයක් ලියන්නේ කොහොමද?
1. සාමාන්‍ය ජීවිතයේදී මෙන් සාකච්ඡාවට පිවිසෙන්න. ඔබ පවසන්නට උත්සහ කරන දෙයට අදාළ පූර්ව කතිකාව හෝ විවාදය කෙලින්ම සඳහන් කරමින් රචනාව ආරම්භ කරන්න. ඔබ ලියන දෙය කුමන කතිකාවකට අදාළව ලියන්නේ දැයි සඳහන් නොකළහොත්, පාඨකයාට එය නොවැටහෙනු ඇත.
2. ඔබ කීමට උත්සහ කරන දෙය පැහැදිලිව ප්‍රකාශ කරන්න. කලින් මෙය ප්‍රකාශ කිරීම ඔබට වාසි වනු ඇත. ඔබ කියන්න උත්සහ කරන දෙය පැහැදිලිව, මුලින්ම සඳහන් කළේ නැතිනම් ඔබට ප්‍රශ්නයක් ඇති වෙයි.
3. ඔබ පවසන දෙය පාඨකයාට නිරන්තරයෙන් මතක් කර දෙන්න. ඔබ ලියන්නේ දැඩි ලෙස තර්ක විතර්කයට ලක් වූ මාතෘකාවක් යටතේ නම්, ඔබ මතු නොකරන මත පිළිබඳව පැහැදිලිව සඳහන් කිරීමට ඔබට කාලය වැය කිරීමට සිදු වේ.
4. ඔබේ තර්කයට විරුද්ධ ව එල්ල විය හැකි යැයි ඔබ බලාපොරොත්තුවන තර්ක සාරාංශ කර දක්වන්න. "ඔබට මෙහිදී (මෙසේ)…. විරුද්ධ විය හැක" යන ආදී වශයෙන් ඔබට මෙය දැක්විය හැක. ඔබේ විචාරකයෝ, කොතරම් නපුරු වුවද, ඔබගේ මිත්‍රයෝ ය. ඔබගේ තර්කය පැහැදිලි කර ගැනීමටත්, ඔබ පවසන දෙය ඔබට පමණක් නොව, අනෙක් අයටත්, උනන්දු සහගත වන්නේ ඇයි යන්න පෙන්වා දීමටත් ඔබට විචාරකයන් අවශ්‍ය වේ. ඔබ පවසන දෙයට විරුද්ධ වීමට කෙනෙකු නැතිනම් ඔබට ඒ දෙය පැවසීමට හේතුවක්ද නැති බව මතක තබා ගන්න.
5. ඔබ පවසන දෙය වැදගත් යැයි ඔබ සිතන්නේ ඇයි යන්න සහ ඔබ පවසන දෙය හරි හෝ වැරදි නම් ඉන් ලෝකයට කුමන ආකාරයේ වෙනසක් ඇතිවිය හැකි ද යන්න පැහැදිලිව පවසන්න. ඔබේ පාඨකයෙකු ඔබේ රචනය කියවා, "ඉතිං මොකද?" කියා හෝ, "කාටද මේවා වැදගත් වෙන්නේ?" කියා හෝ, ප්‍රශ්න කළොත්, ඊට ඔබ ළඟ පිළිතුරු නැතිනම්, ඔබ කරදරයේ වැටෙයි.
6. ඔබේ මූලික රචනයෙන් වෙන් වූ, ඒ සමඟ ම දිවෙන රචනයක් මඟින් ඔබේ මූලික රචනය දර්ශන පථයට යොමු කරන්න. හොඳ විචාරාත්මක ලිපියක් ඇත්තෙන්ම රචනා දෙකකින් සමන්විත වේ. එකකින් ඔබ ඔබේ තර්කය ඉදිරිපත් කරයි. අනිත් රචනාවෙන් ඔබ ඔබේ පාඨකයන්ට ලිපිය කියැවිය යුතු හා නොකියැවිය යුතු ආකාර පෙන්වා දෙයි. "මා මෙහිදී කීමට උත්සහ කරන්නේ.." ආදී වදන්වලින් මෙම දෙවැනි රචනය හඳුනා ගත හැක. ශිෂ්‍යයන්ගේ ලිවීම අපැහැදිලි හෝ පාඨකයන් ඒත්තු ගැන්වීමට අපොහොසත් නම් ඊට හේතුව වන්නේ තේරුම් ගත නොහැකි, අපැහැදිලි බස් වහරක් නිසා හෝ ව්‍යාකරණ දෝෂ නිසා හෝ නොව කතුවරයා ලිපිය ලියන්නට සිතුවේ ඇයිද යන්න පැහැදිලි කරන මෙම දෙවැනි රචනයේ අඩුවයි.
7. පාඨකයන්ට එකවර අවබෝධ කරගත හැක්කේ එක තර්කයක් පමණි. එමනිසා වෙනත් පරිඡ්චේදයකදී හෝ වෙනත් රචනයකදී කථා කිරීමට තැබිය යුතු දෙවැනි තර්ක රචනයට ඇතුළත් කිරීමට උත්සහ නොකරන්න. ඔබ සියලුම මත සළකා බැලූ බව පෙන්වීමට, සියල්ලම අන්තර්ගත කිරීමට උත්සහ කළහොත්, පාඨකයාට කිසිවක් තේරුම් ගත නොහැකි වනු ඇත.
8. භාෂා දෙකක් භාවිතා කරන්න. ශාස්ත්‍රීය බස් වහර බැහැර කිරීම අතවශ්‍ය නොවේ. සමහර අවස්ථාවන්වලදී ශාස්ත්‍රීය බස් වහරක් යොදා ගැනීම අවශ්‍ය වේ. එනමුත් ඔබ එසේ ශාස්ත්‍රීය බස් වහරක් යොදා ගන්නා සැමවිටම එය සාමාන්‍ය බසින්ද ලිවීමට පුරුදු වන්න. එසේ කළ විට එක්කෝ පවසන දෙයෙහි නැවුම් බවක් ඇති වේ. එසේ නැතිනම්, එම කියමනේ නොවැදගත්කම අවබෝධ වී ඔබ එය සඳහන් කිරීමෙන් වළකිනු ඇත.
9. ඔබ ඔබව රවට්ටගන්න එපා. ඔබ ලියන දෙය ඔබට ඔබේ දෙමව්පියන්ට පැහැදිලි කරන්නට නොහැකි නම්, එය ඔබටත් තේරෙන්නේ නැත.