Monthly Archives: November 2010

“සමනළයායේ සැරිසැරීමි.”

උන්නතී සමරවීර

දිනය පහුගිය 26 වෙනි සිකුරාදා, වෙලාව පස්වරු 4.00යි. දෙහිවල ජයසිංහ ශාලාව පිරී ඉතිරී යන්නට තරම් සෙනඟ නොහිටියත්,swanlake2 පැමිණි සියළුදෙනා ඒ මොහොත රස විඳි බව දැනුණු නිසාවෙන්ම මේ ආකාරයට සටහනක් තබන්නට සිතුණා. සුනෙර පදනමේ සංවිධානයෙන් ඉදිරිපත් කෙරුණු ” සමනළයාය” විවිධ ප්‍රසංගයේ සුවිශේෂීත්වය වුණේ, ඊට සහභාගී වූ සියළුම සොයුරු සොයුරියන් විශේෂ අවශ්‍යතා සහිත පිරිසක්  වීමයි. අපේ සමාජයේ පොදුවේ භාවිත වෙන වචනයෙන් පැවසුවොත් නම් ‘ආබාධිත’ සොයුරු සොයුරියන් වීමයි. 

මේ සොයුරු සොයුරියන් ශ්‍රව්‍යාබාධිත,කථන අපහසුතා සහිත, අත්, පා ආබාධිත, , වැනි ශාරීරික හෝ මානසික හැකියාවන් පිළිබඳ ඌනතාවක්, දුබලතාවක් තියෙන පිරිසක් වුණත් ඔවුන් සතුවත් සුවිශේෂී ශක්‍යතාවන් තියෙනවා. මේ මොහොතේ දී ඔවුන්ව හඳුන්වා දීමට නිවේදක මහත්වරු අපූර්ව වචනයක් භාවිත කළා. ඒ ‘disabled’ කියන වචනය වෙනුවට ‘differently abled’ කියන වචනය භාවිත කරමින්. සැබැවින්ම ඔවුන්ගේ ඌනතාවය දකිමින්, එය ආයුධයක් කොට ගෙන ‘ආබාධිත’ කියන වචනය භාවිත කරනවට වඩා, වෙනස් ලෙස දකිමින් වෙනස් ආකාරයේ හැකියාවන් සහිත පිරිසක් වශයෙන් ඔවුන්ව දකින්නට අප සැමට හැකියාව තියෙනවා නේද?මේ සුන්දර මොහොත අත්විඳි සැමට ඒ බව දැනුණු බව නම් නොඅනුමානයි.

මේ විවිධ ප්‍රසංගය ආරම්භ වූයේ පූජා නර්තනයකින්. අනතුරුව ඉදිරිපත් වුණු වේදිකා නාට්‍ය ත්‍රිත්වය වගේම ඒ අතරතුර ඉදිරිපත් කෙරුණු බටහිර නර්ථනාංගය, රෝද පු‍ටුවල සිටි සොයුරු සොයුරියන්ගේ නර්ථනාංගයත් එකසේම විචිත්‍රවත් වගේම ප්‍රේක්ෂක හදවත් මොහොතකට සසල කළ බව සැබෑවක්. විශේෂයෙන්ම බටහිර නර්ථනාංගයට සුපුරුදු ප්‍රේක්ෂක ප්‍රතිචාරය වන අත්පොළසන් හඬක් ප්‍රේක්ෂකාගාරයෙන් ලැබුණත් එය ඉදිරිපත් කළ සොයුරු සොයුරියන් අට දෙනා අතුරින් හය දෙනෙකුම ශ්‍රව්‍යාබාධිත සොයුරු සොයුරියන් වූ නිසාවෙන් ඒ වෙනුවට, දෑත් ඔසවා ඔවුන්ට ආචාර කරන ලෙස නිවේදකවරයා වෙතින් ඉදිරිපත් වූ කාරුණික ඉල්ලීම, ප්‍රේක්ෂක සැම මොහොතකට සංවේදී කළ කරුණක් වුණා.

බාහිර සමාජය තුළදී නිරන්තරයෙන් අවධානයට ලක්වන ඔවුන්ගේ ශාරීරික, මානසික ඌනතාවය වෙනුවට, ඔවුන් සතු වූ නර්ථන හැකියාව, රංගන හැකියාව, චිත්‍ර කලාවේ badulla-workshopනිපුණත්වය වගේම පෞරුෂත්වයෙන් සපිරි ඔවුන්ගේ ඉදිරිපත් වීමේ හැකියාව, ඒ සුන්දර දෙපැය පුරා පැමිණ සිටි සියළු දෙනාම පාහේ අත්වින්දා. පළමු වේදිකා නාට්‍ය තුළ වෙනස් හැකියාවන් සහිත දරුවෙකුගේ උපත, මව- පියා ඇතුළු පවුලත්, සමාජයත් දකින ආකරය විවිධ පැතිකඩයන්ගෙන් මැනවින් නිරූපණය වුණා. ඉතා නිර්මාණශීලී අයුරින් කතා තේමාව විකාශය වන අතරේ ‘‘ වෙනස් හැකියා සහිත තම දරුවා, සමාජයේ තවත් එක් දරුවකු නොවේද?, ඇය ඒ ආකාරයට උපත ලැබීම ඇයගේ වරදක්ද?’’ යනුවෙන් මතු වූ පැණය මොහොතකට ප්‍රෙක්ෂකාගාරයට සිතන්නට යමක් ඉතිරි කළ බව මගේ සිතුවිල්ලයි.

සැබැවින්ම වෙනස් හැකියාවන් සහිත මේ සොයුරු සොයුරියනුත් අපේ සමාජයේම කොටසක් ලෙස දකින්නට, එසේත් නැත්නම් ”අප සහ ඔවුන්”, ”සාමන්‍ය සහ අසාමාන්‍ය”,යනාදී බෙදීම් ඉවත් කොට, ඔවුන්ටත් සමාජයේ ඉඩකඩ විවර කරමින්,ඔවුන්ව ද “අප” යන්නට ඇතුළත් කර ගැනීමට දැන් කාලය එළැඹ තිබෙනවා. ඔවුන්ගේ ඌනතාවය ඔවුන්ව සමාජයෙන් හුදකලා කිරිමට භාවිත කරනවා වෙනුවට,ඔවුන් සතු වන විශේෂ හැකියාවන්ට අත හිත දෙමින්, සමාන සමාජ පිළිගැනීම, සමාන අධ්‍යාපන අවස්ථා, සමාන ‍රැකියා අවස්ථා, ආදී වශයෙන් සමාන මානවයෙකු වශයෙන් සළකමින්, ඔවුන් වෙනුවෙන් සමාජ අවකාශ බිහි කිරීමට කාලය එළැඹිලා.

මෙහිදී, මේ සොයුරු සොයුරියන්ගේ ප්‍රවේශ අවස්ථා වර්ධනයට පියවර ගැනීම, දැඩිව අවධානය යොමු කළ යුතු කරුණක්. විශේෂයෙන්ම මෙහිදී මතක් කළ යුතු කරුණක් වනුයේ, යම් ඌනතාවක් සහිත පිරිසක් ලෙස සානුකම්පාව, දයානුග්‍රහය, අවධානමට ලක් විය හැකි කණ්ඩායමක් වශයෙන් දැඩි ‍රැකවරණයක් සැපයීම, වැනි නූතනයේ දක්නට ලැබෙන සමාජ ප්‍රතිචාර වෙනුවට සැබැවින්ම සිදුවිය යුත්තේ සාමාන්‍ය පුද්ගල කොටසක් ලෙසින් සළකා ඔවුන්ව සමාජයට ඇතුළත් කර ගැනීමට උත්සාහ ඇරඹීම බවයි.

එහිදී පවතින ඍණාත්මක සමාජ ආකල්පය ධනාත්මකව වර්ධනය කරමින්, ඒ අයට මිත්‍රශීලී නොවන පරිසරය මිත්‍රශීලී ආකරයට වෙනස් කිරීමට වගේම, වෙනස් හැකියා ඇති ඔවුන්ව අපහසුතාවයට පත් නොවන ලෙසින්, ස්වාධීනව ඔවුන්ටම ඔවන්ගේ වැඩ කටයුතු ඉ‍ටු කර ගත හැකි පරිසරයක් සපයා දෙන්නට අපට ශක්‍යතාවක් තියෙනවා නම්humantouch3 එයයි වැදගත් වනුයේ. උදාහරණයක් ලෙස ලංකාවේ රෝද පු‍ටුවකින් ගමන් කරන සොයුරෙකුට හෝ සොයුරියකට රෝද පු‍ටුවත් සමඟ රෝහල, පාසල, උසස් අධ්‍යාපන ආයතන ආදී බොහෝ ආයතනවල ගොඩනැඟිලිවලට ප්‍රවේශවීමේ නොහැකියාවක් පවතින්නේ,ඔවුන් පිළිබඳවත් සංවේදී වී ගොඩනැඟිලි සැලසුම් කිරීමට අප උත්සාහ නොකරන නිසාවෙන්. එහෙයින් එවැනි කුඩා තැන්වලින් අපට ආරම්භයක් සනි‍ටුහන් කරන්නට පුළුවන්. මොකද, ඒ අයත් ආත්මාභිමානයක් සහිත ශ්‍රී ලාංකික පුරවැසියන් වන නිසාවෙන්.

වෙනස් හැකියාවන් සහිත ඒ සොයුරු සොයුරියන් තුළ වූ ආත්මාභිමානය එදා ”සමනළයාය” පුරා අප හොඳින් අත් වින්දා.

ඉතින් සබඳ, දයානුකම්පාව වෙනුවට අප හා සමානයන් වශයෙන් ඔවුන්ටත් සළකන සමාජයක් හැකි ඉක්මණින් ඔවුන් වෙත තිළිණ කරන්නට අප සැම එකමුතුව ක්‍රියාත්මක විය යුතු කාලයයි මේ.

මානසික රෝගාබාධ වෛද්‍ය ගැටලූවක් ද? නැතිනම් සමාජ ගැටලූවක් ද? : ශ‍්‍රී ලාංකේය සමාජ සන්දර්භය ඇසුරෙන් විග‍්‍රහ කිරීම

එම්.ජී.එල්.මහේෂ් ප්‍රේමරත්න

bipolar-disorder-abstract සාමාජීය සත්වයකු වන මිනිසා පවුල, ආගම, දේශපාලනය, ආර්ථිකය හා අධ්‍යාපනය වැනි සමාජ සංස්ථා සමඟ අන්තර් සම්බන්ධතා පවත්වනු ලබන අතර, එම අන්තර් සම්බන්ධතාවන් වඩාත් සාර්ථක ලෙස පැවැත්වීම සඳහා බලපාන එක් සාධකයක් ලෙස පුද්ගලයාගේ සෞඛ්‍ය තත්ත්වය දැක්විය හැකිය. සෞඛ්‍ය යන සංකල්පය සඳහා පවතින නිර්වචනයන් කිහිපයක් පොදුවේ විමසා බලන විට පෙනී යන්නේ සෞඛ්‍ය යන සංකල්පයට ලෙඩ රෝග හා ආබාධ වලින් තොරවීම, කායික මානසික හා ආධ්‍යාත්මික සහ සාමාජීය යහපැවැත්ම යන අංශ සියල්ලම සහ පුද්ගලයකු සෞඛ්‍ය සම්පන්නවීමට නම් මෙම සෑම අංශයක්ම යහපත් තත්ත්වයක පවත්වා ගැනීම යන ලක්ෂණ ඇතුළත් වන බවයි (ලෝක සෞඛ්‍ය සංවිධානය 2006 (a), විල්සන් 2007).

ඉහත දක්වන ලද ආකාරයට පුද්ගලයකු සෞඛ්‍ය සම්පන්නවීමට නම් පුද්ගලයාගේ මානසික සෞඛ්‍ය ද යහපත්ව පවත්වා ගැනීම වැදගත් වන බව කිව හැකිය. මානසික සෞඛ්‍ය පිළිබඳව පවත්නා නිර්වචනයන් පොදුවේ විමසා බැලීමේදි දැකිය හැක්කේ මානසික සෞඛ්‍ය යන්නට මානසික රෝගාබාධවලින් තොරවීම, පුද්ගලයාගේ යහපැවැත්මත්, පුද්ගලයාගේ යහපැවැත්මට හා සමාජය සමඟ මනාවූ සම්බන්ධතා පැවැත්වීමට හැකි තත්ත්වයන්ට අදාල වන මානසික හා චිත්තවේගීමය යහපත් තත්ත්වයන් සහ සමාජය යන සාධක ඇතුළත් වන බවයි (ටියුඩර් 1996, පිල්ග්රිමි 2005, කි‍්‍රෂ්ට්- අෂ්මන් 2003). පවත්නා නිර්වචනයන් තුළ දැකිය හැකි ප‍්‍රධාන ලක්ෂණයක් වූයේ මානසික සෞඛ්‍ය යන්නට මානසික රෝගාබාධවලින් තොරවීම ඇතුළත් වන බවයි. මානසික රෝග යන්නට ද විවිධ නිර්වචන පවතින අතර, එම නිර්වචනයන් මගින් අවධානය යොමු කරන ක්ෂේත‍්‍ර වෙනස්වන බව දැකිය හැකිය. පිල්ග්රීම් මානසික රෝග කෘත්‍යාත්මක මානසික රෝග හා ඓන්ද්‍රීය මානසික රෝග ලෙස කොටස් දෙකක් යටතේ දක්වයි. කෘත්‍යාත්මක මානසික රෝග යන්නට කථනයේ හා ක‍්‍රියාකරකම්වල අසාමාන්‍යතාවයන් ඇතිවීම ද, ඓන්ද්‍රීය මානසික රෝග යන්නට මෙම දක්වන රෝග ලක්ෂණවලට අමතරව නිරීක්ෂණය කළ හැකි හෝ මැණීමට හැකි කායික අසමානතාවයන් ඇතුළත්වේ (2005: 15). මෙම නිර්වචනයට අනුව පෙනීයන්නේ මානසික රෝගීත්වය සාමාන්‍ය සමාජය විසින් අපේක්ෂිත හැසිරීම් රටාවන්වලින් වෙනස්වන තත්ත්වයන් පදනම් කරගෙන තීරණය කරන බවයි. කි‍්‍රස්ට්-අෂ්මන්ට අනුව මානසික රෝගීත්වය යනු   "පුළුල් මට්ටමෙන් මිනිසාගේ ඵලදායි කාර්යයන් කිරීමේ හැකියාවට බාධා පමුණුවන මානසික, චිත්තවේගීමය හා ප‍්‍රජානන ආබාධවේ" (2003: 316). මෙම නිර්වචනයට අනුව මානසික රෝගයන් සෑදෙන්නේ පුද්ගලයාගේ අභ්‍යන්තර සාධක මත බවත්, එමගින් පුද්ගලයාගේ සාමාන්‍ය ජීවිතයේ කටයුතුවලට බාධා සිදුවන බව දක්වයි. නමුත් මෙම නිර්චචනය තුළ මානසික රෝග කෙරෙහි බලපාන සමාජ සාධක, මානසික රෝග නිසා මානසික රෝගියාගෙන් බාහිර සමාජයට වන අවාසිදාදායක තත්ත්වයන් පිළිබඳව දක්වා නැති බව පෙනේ. විකිපීඩියා විශ්ව කෝෂයට අනුව මානසික රෝගීත්වය යනු "මානසික හා චර්යාවට සම්බන්ධ වන දෙයක් වන අතර, එය සාමාන්‍ය සංවර්ධනයේ හා සංස්කෘතියේ කොටසක් වශයෙන් බලාපොරොත්තු නොවූ දෙයකි” (2009). මෙම නිර්වචනයට අනුව පෙනී යන්නේ මානසික රෝග නිර්වචනය කිරීමේදී සමාජය සාමාන්‍ය පුද්ගලයකුගෙන් බලාපොරොත්තු වන හැසිරීම් රටාවන් නොපවතින තත්ත්වයකදී හා පුද්ගලයා පීඩනයට පත්වන හා ඔහුගේ කාර්යයන් කිරීමට නොහැකි වන තත්ත්වයන් මානසික රෝග නිර්වචනය කිරීමේදී අදාල කරගන්නා බවයි. පොදුවේ බලන විට පෙනීයන්නේ මානසික රෝග පිළිබඳව නිර්වචනය කිරීමේදී පුද්ගලයාට සම්බන්ධ සාධක මෙන්ම සමාජ සාධක කෙරෙහි ද අවධානය යොමු කරන අතර, මෙහිදී පුද්ගලයාගේ අසාමාන්‍ය හැසීරීම් රටාවන් සැලකිල්ලට ගන්නා බවයි.

පුද්ගලයාට පමණක් නොව සමාජයට ද අහිතකර ලෙස බලපාන මානසික රෝගාබාධ පිළිබඳ සංඛ්‍යා දත්ත විමසා බැලීමේදී දැකිය හැක්කේ මානසික රෝගාබාධ සමාජයට දැඩි බලපෑමක් ඇති කරන තත්ත්වයකට පත්වී ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට (2001) අනුව දැනට ලෝකයේ පවතින ප‍්‍රධාන ආබාධ දහයෙන් මානසික ආබාධ සිව්වැනි තැනට පත්වී තිබෙන අතර විසිවන සියවසේ මානව චර්යාවට විශාල ලෙස බලපෑමක් ඇති කළ ඖෂධ කාණ්ඩ අතර මනෝවිද්‍යාත්මක ඖෂධ ද පවතින අතර, ඊළඟ අවුරුදු විස්ස ඇතුළත විෂාදය රෝගය ලෝකයේ ඇති බලවත් රෝගවලින් දෙවන ස්ථානයට පත්වන අතර, මිලියන විසි හතරක භින්නෝද්මාන රෝගීන් සිටිනු ඇත (ලෝක සෞඛ්‍ය සංවිධානය 2001: 3). ශ‍්‍රී ලංකාව තුළ මානසික රෝගී තත්ත්වය පිළිබඳව විමසා බලන විට පෙනී යන්නේ ශ‍්‍රී ලංකාවේ සෑම පුරවැසියන් දහ දෙනෙකු අතර එක් අයෙක් සුළු මානසික රෝගාබාධයකින් පෙළෙන අතර, සිව්දෙනෙකුගෙන් එක් අයෙක් ඌග‍්‍ර මානසික රෝගාබාධ වලින් පෙළෙන බවයි (රාජකරුණා 2000: 36). ශ‍්‍රී ලංකාව සඳහා ජාතික සෞඛ්‍ය ප‍්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාවට (1993) අනුව "දෙන ලද  ඕනෑම වේලාවක ජනගහනයෙන් 5-10% දක්වා වන සංඛ්‍යාවක වෘත්තීය සහය අවශ්‍ය වන චිත්තවේගාත්මක ප‍්‍රශ්න වලින් පෙළෙන බව ඇස්තුමේන්තු කර තිබෙන අතර, 2% ක් පමණ විශේෂඥ ප‍්‍රතිකාර අවශ්‍ය බරපතල මානසික ආබාධ (මනෝ ව්‍යාධි) වලින් පෙළෙත්" (ශ‍්‍රී ලංකාව සඳහා ජාතික සෞඛ්‍ය ප‍්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව 1993: 25). එසේම ශ‍්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය තුළ දක්වා ඇති ආකාරයට සිවිල් ගැටුම් නිසා හා 2004 වර්ෂයේ ඇති වූ සුනාමි ව්‍යවසනය නිසා ජනගහනයෙන් 2% ක් පමණ මානසික රෝගාබාධ වලින් පෙළෙන බව තක්සේරු කර තිබේ (ශ‍්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය- 2005). තවද මෑතකදී සුරාලෝලීන් පිළිබඳ කරන ලද අධ්‍යයනයකට අනුව පිරිමින්ගෙන් 25% ක් ද, කාන්තාවන්ගෙන් 17% ක් පමණ සමාජ භීතිකා වලින් පෙළෙන බව පෙනී ගොස් තිබේ (ගුණසේකර 1991: 80). මේ සංඛ්‍යා ලේඛන අනුව පෙනී යන්නේ සමස්තයක් ලෙස ලෝකයේ පමණක් නොව ශ‍්‍රී ලංකාවේ ද මානසික රෝගාබාධ සමාජයට බලපෑමක් ඇති කරන තත්ත්වයට පත් වී ඇති බවයි.

මෙම ලිපිය මගින් ශ‍්‍රී ලාංකේය සමාජ සන්දර්භය ඇසුරු කරගනිමින් මානසික රෝගීත්වය පිළිබඳ විග‍්‍රහ කිරීම සිදු කරන අතර, එහිදී මානසික රෝගාබාධ වෛද්‍යමය ගැටලූවකට වඩා සමාජ ගැටලූවක් වශයෙන් විග‍්‍රහ කිරීම ප‍්‍රධාන වශයෙන් සිදු කරනු ලැබේ. එහිදී මෙම ලිපියේ ඉදිරි කොටසින් ශ‍්‍රී ලාංකේය සමාජ සන්දර්භය ඇසුරු කරගනිමින් මානසික රෝගාබාධ ඇතිවීමට බලපාන හේතු සාධක විග‍්‍රහ කිරීම සිදුවේ. අවසාන කොටසේදී මානසික රෝගාබාධ හා බැඳී පවතින සමාජ සංස්කෘතික තත්ත්වයන් ශ‍්‍රී ලාංකේය සමාජ සන්දර්භය ඇසුරෙන් විග‍්‍රහ කිරීම සිදුවේ.

සම්පූර්ණ ලිපිය පහත යොමුවෙන් ලබාගත හැක.

මානසික රෝගාබාධ වෛද්‍ය ගැටලූවක් ද නැතිනම් සමාජ ගැටලූවක් ද ශ‍්‍රී ලාංකේය සමාජ සන්දර්භය ඇසුරෙන් විග‍්‍රහ කිරීම