බලය සහ සමාජාභිවර්ධන කාර්යය ප්‍රවේශය

උන්නතී සමරවීර

සමාජ විද්‍යාව තුළදී බලය යන්න විවිධාකාරයට නිර්වචනය වී තිබේ. මැක්ස් වෙබ්ර් (උපුටා ගන්නා ලද්දේ නාගිත හිමි,1998 පි.46 ) අර්ථ දක්වන පරිදි, ”කිසියම් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුගේ කැමැත්ත ඇතැත්, නැතැත් තමන්ගේ තීරණයට අවනත කර ගැනීමේ හැකියාව” බලය වන අතර මෙකී බලය නීත්‍යානුකූල වූ විට එය ආධිපත්‍යය ලෙස හැඳින්වේ. එසේම ෆූකෝ (1973 ) ප්‍රකාශ කරනුයේ, දැනුම බලය වන බව වේ. එහිදී, ඉතා සවිස්තරාත්මකව බලය පිළිබඳ කරුණු සාකච්ඡා කර ඇති ෆූකෝ (1973) මුළු ශරීරය පුරා, ඉතා සියුම් නහරය , සෛලය දක්වා රුධිරය පැතිරී තිබෙන ආකාරයටම, පුද්ගල සමාජ ජීවිතයේ බලය නොමැති අවකාශයක් නොමැති බව කියයි. ඉතා සියුම් නහර මඟින් මුළු ශරීරය පුරා රුධිර සංසරණය ක්‍රියාත්මක කරන්නාක් මෙන් බලය මඟින් සමස්ත සමාජය මෙහෙය වන බව ඔහු දකී.

මෙහිදී බලය යන්න, ආර්ථික බලය, සමාජයීය බලය, දේශපාලන බලය, නීතිමය බලය, යනාදී විවිධ ස්වරූපයන්ගෙන් ප්‍රායෝගික සමාජය තුළ ක්‍රියාත්මක වන බව වටහා ගැනීම ද වැදගත් වේ. කෙසේ, වුවද සමාජාභිවර්ධන කාර්යය ප්‍රවේශයේදී බලය සම්බන්ධව කරුණු විග්‍රහ කරන කල්හි, බල සබඳතාවන්හි යථා ස්වරූපය ගැඹුරින් සොයා බලා, අවබෝධ කර ගැනීමටත්, විශ්ලේෂණය කිරීමටත් අප උත්සුක විය යුතු වේ.

සමාජාභිවර්ධන කාර්යය ප්‍රවේශයේදී බලයේ විවිධ ස්වරූපයන්

සමස්ත සමාජය පුරා ව්‍යාප්තව පවතින බලය යන්න, මෙහිදී ද අතිශය වැදගත් වේ. මන් ද, බලය මත පදනම්ව නිර්මාණය වන අසමතුලිත බල සම්බන්ධතාවයන්හිදි, එක් පාර්ශවයක් වැඩි බලයක් සහිත වීම නිසා නිතැතින්ම අනෙක් පාර්ශවය බල රහිත වීම හරහා බල රහිත පාර්ශවය සමාජයෙන් වෙනස් කොට සැළකීමක්, ආන්තීකරරණය වීමක් සිදු වන බැවිනි. සුළු ජන කණ්ඩායම්, මානසික ව්‍යාධීන්ට ගොදුරු වූ පුද්ගලයන්,වියපත් වූවන්, ආදී සමාජ කණ්ඩායම් මීට උදාහරණ ලෙස දැක්විය හැක. මෙම සමාජ කණ්ඩායම් සමාජමය වශයෙන් අසමානතාවන්ට මුහුණ දීමට එක් ප්‍රධාන හේතු සාධකයකි, ඔවුන්ගේ බල රහිත බව.

මෙහිදී සමාජාභිවර්ධන කාර්යය ප්‍රවේශයේදී මෙකී කරුණ වැදගත් වනුයේ, බල රහිත සමාජ කණ්ඩායම් සමාජමය වශයෙන් බහිෂ්කරණය වී ඇති විට, ඔවුන්ගේ සැබෑ අවශ්‍යතා හඳුනා ගැනීමටත්, ඒවා සන්තෘප්ත කර ගැනීමටත්, අවශ්‍ය අවස්ථාවන්හිදී ඔවුන්ව බල ගැන්වීමටත්, සමාජාභිවර්ධකයා මඟ පෙන්වීම්, මැදිහත්වීම්, තොරතුරු සම්ප්‍රේෂණය කිරීම් සිදු කරන හෙයිනි. එසේම, අනෙක් ප්‍රධාන කරුණ නම් සේවා ලාභීන් බල රහිත සමාජ තත්ත්වයක සිටින විටදී, විටෙක අද්වකාත් භූමිකාව ද, විටෙක භාරකාර භූමිකාව ද, තවත් විටෙක මේ දෙකටම වෙනස් වූ හෝ මේ දෙකේම මුසු වීමක් ලෙස ද විවිධ භූමිකා දියත් කිරීමේදී, ඒ ඒ අවස්ථාවට අදාළ බල සබඳතාවයේ ස්වරූපය, බලය පරිහරණය කළ යුතු ආකාරය පිළිබඳ නිවැරදි අවබෝධයක් සමාජාභිවර්ධකයා සතු විය යුතු වීමයි. එනම් , බලය අයතා පරිහරණයක නොයොදවා, නිසි ලෙස භාවිතයට සෑම අවස්ථාවකදීම සමාජ වෘත්තිවේදියා සවිඥානික විය යුතු වේ.

මානසික ව්‍යාධියකට ගොදුරු වූ පුද්ගලයෙකු සහ වෛද්‍යවරයෙකු අතර පවතින බල සබඳතාවය උදාහරණ ලෙස ගත් විට, රෝගී තත්ත්වය, ඊට ලබා ගත් යුතු ප්‍රතිකාර ආදී සියල්ල පිළිබඳ රෝගී පුද්ගලයාට උපදෙස් ලබා දෙන්නේ වෛද්‍යවරයා විසින් වේ. මෙහිදී, රෝගියා පිළිබඳ සියලු තීරණ ගැනීමේ අයිතිය වෛද්‍යවරයාට නිතැතින්ම හිමිවේ. මේ තුළ අසමතුලිත බල සබඳතාවක් ක්‍රියාත්මක වන බව පැහැදිලි වනුයේ, රෝගියාගේ සමාජ පරිසරය කෙරෙහි අවධානය යොමු කොට, ඒ පිළිබඳවත් සවිඥානික වී කටයුතු කිරීමක් වෛද්‍ය භූමිකාව තුළින් පෙන්නුම් නොකරන හෙයිනි.

එනමුත්, අර්වින් ගොෆ්මන් විසින් ඉදිරිපත් කරන ලද අදහස මෙහිදී සමාජාර්ථකරණීය භූමිකාවට අතිශය වැදගත් වේ. එනම්, ගොෆ්මන් (උපුටා ගන්නා ලද්දේ, ෆර්ගනීස් සංස්කාරක 1993 පි.136) පැහැදිලි කරන පරිදි, මනසික උපස්ථානාගරයක් පිළිබඳ යථාර්ථය වටහා ගැනීමට නම් එහි වෙසෙන නේවාසිකයන්ගේ දෘෂ්ටි කෝණයෙන් ඔවුන් ලබන සේවාවන් අවබෝධ කර ගැනීම වැදගත් වේ. සමාජාභිවර්ධකයාටත් මෙම කරුණ වැදගත් වනුයේ, සේවා ලාභියාගේ සැබෑ අවශ්‍යතා හඳුනා ගෙන, එම අවශ්‍යතා තෘප්ත කර ගැනීම සඳහා ඔවුන් සමඟ ඉදිරියට යන ගමනේ දී, සැමවිටම ගොෆ්මන් දකින පරිදි සේවා ලාභියාගේ දෘෂ්ටි කෝණයෙන් ඔවු අත්දකින යථාර්ථය වටහා ගැනීම වඩා ප්‍රායෝගික මෙන්ම නිවැරදි ක්‍රමය වන බැවින් වේ.

සමාජාභිවර්ධකයන් සේවා ලාභීන් සමඟ අන්‍යොන්‍ය වශයෙන් කටයුතු කරන විට මුහුණ දීමට සිදුවන එක් බල අධිකාරියක් වශයෙන් මෙහිදී ‘ආයතනමය බලය’ හඳුන්වා දිය හැකිය. විශේෂයෙන්ම මෙම විෂය ඒකකය හැදෑරීමේදී අප ලත් ක්ෂේත්‍ර අත්දැකීම්වලදී අපට නිරන්තරයෙන්ම පරිපාලනමය බලයට යටත් වීමට සීදුවිය. වුල්ෆ් වුල්ෆන්බර්ග් (උපුටා ගන්න ලද්දේ ෆ්ලැකර්, 1994)ඉදිරිපත් කළ ‘සාමාන්‍යකරණය’ (normalization) සංකල්පයේදී කැමත්ත (choice), සභාගීත්වය (participation), අන්‍යොන්‍ය මුසු වීම (mixing), අන්තර් සබඳතා (relationship), පෞරුෂ වර්ධනය (personal growth) යන අංශ පහ, යම් ආයතනයක් තුළ වර්ධනය කිරීම මඟින්, එහි ජීවත් වන සේවා ලාභීන්ගේ ජීවිතය, ඔවුන්ගේ පෞද්ගලික නිවසේ ඔවුන් ගත කළ දෛනික ජීවිතය හා සමානව ගොඩනැඟිය යුතු ආකාරය සාකච්ඡා කරයි.

එනමුත් අප ක්ෂේත්‍ර පුහුණුව ලැබූ එක් වැඩිහිටි නිවාසයකදී මෙකී සාමාන්‍යකරණ සංකල්පයට අනුව සේවා ලාභීන්ට දිවි ගෙවීමට ඉඩ සැලසීමකට වඩා අපට නිරීක්ෂණය කළ හැකි වූයේ, පරිපාලන පිරිස් ඔවුන් වෙත බල ආධිපත්‍ය පතුරුවන ස්වරූපයක් වේ. එනම්, එක් සේවාලාභියෙකුට ස්වකීය පැරණි සිහිවටනයක් වන ඡායාරූපයක් හා සරමක්, ඔහුගේ නිදන ඇඳේ , කොට්ටය යට තබා ගැනීමට පරිපාලනය අවසර නොදෙන්නේ, එවිට එම ස්ථාන අපිළිවෙල වී අවලස්සන වන බව පවසමිනි. මෙහිදී, සේවා ලාභියාගේ ‘ කැමත්ත’ට ඉඩ ලබා නොදීමක් මෙන්ම වැඩි බලයක් හිමි පරිපාලනය , එම බලය සේවා ලාභීන් වෙත ඔවුන්ගේ අභිමතය පරිදි යෙදවීම ද කැපී පෙනේ. තවද, මෙම නිවසේ අප විසින් සංවිධානය කරන ලද උපන්දින සාදය සඳහා සහභාගී වීමට, අපගේ උපකාරය ඇතිව පැමිණීමට ඇවිදීමට අපහසු සේවාලාභීන් කැමත්ත පළ කරද්දී පවා පරිපාලනය විසින් එය වළකන ලදී. මෙහිදීද පරිපාලනය හා සේවා ලාභීන් අතර වන අසමතුලිත බල සබඳතාව නිරීක්ෂණය කළ හැකි විය. එසේම, මෙහිදී මෙම සේවා ලාභීන්ගේකැමත්ත, සභාගීත්වය, අන්‍යොන්‍ය මුසු වීම, අන්තර් සබඳතා යන අංශ හතරම පරිපාලනය සතු බල ආධිපත්‍ය විසින් සීමා කිරීමක් ලෙස ද මෙය අර්ථ දැක්විය හැකි වේ.

එමෙන්ම, අප ක්ෂේත්‍ර පුහුණුව ලැබූ මානසික ව්‍යාධීනට ගොදුරු වූ පුද්ගලයන් උදෙසා පවත්වාගෙන ගිය නිවෙසකදී එක් තරුණ සේවා ලාභියෙකුගේ අවශ්‍යතාවය වූයේ විදේශ ගතවීම වුවත් , එම නිවසේ පරිපාලනයේ අවශ්‍යතාවය මත අසළ හෝටලයක ආහාර බඳුන් පිරිසිදු කරන්නෙකු වශයෙන් ‍රැකියාවක් ඔහුට සොයා දෙනු ලැබීය. මෙහිදී, සේවා ලාභියා සමඟ සාකච්ඡා කොට, ඔහුට සවන් දී, ඔහුගේ සැබෑ අවශ්‍යතා වටහාගෙන, එම අවශ්‍යතාව සාධනය කර ගත හැහි මාර්ග කරා ඔහුව යොමු කිරීමේ සමාජ වෘත්තිවේදීය භූමිකාව ක්‍රියාත්මක නොවූ අතර බලය හිමි පරිපාලනය විසින් බල රහිත සේවා ලාභියා වෙනුවෙන් තීරණ ගැනීම සිදුවිය. මේ නිසා විදේශගතවීමට ඔහු විසින් සමත් විය යුතු විභාග කරා ඔහුව යොමු කිරීමක් හෝ ඒ තුළ ඔහුව බලගැන්විය යුතු සන්ධිස්ථාන හඳුනා ගැනීමක් සිදු නොවීය. නමුත් බල රහිත තත්ත්වයක සිටින සේවා ලාභීන් බල ගැන්වීමට සමාජාර්ථකරණයේදී අවධානය යොමු විය යුතු අතර එහිදී සේවා ලාභියාට අහිතකර ප්‍රතිඵල ළඟා නොවන පරිදි එම කටයුතු ක්‍රියාත්මක කිරිමට ද අපගේ අවධානය යොමුවිය යුතු වේ.

මේ සියල්ල මඟින් ගම්‍ය වන තවත් වැදගත් කරුණක් නම්, ඉහළ සිට පහලට බලය ගලා යන එළඹුමකින් (top- down approach) ශ්‍රී ලංකාවේ බොහෝ සේවා ස්ථාන ක්‍රියාත්මක වන බවයි. එනම් සේවය අත් විඳින සේවා ලාභියාගේ අදහස්වලට මූලිකත්වය ලබා දීමක් සිදු නොවන අතර වෘත්තිඥයන් තමුන් විශේෂඥයන් යැයි සළකමින්, බල ආධිපත්‍ය දරමින්, සේවා ලාභීන් වෙනුවෙන් තීරණ ගනී. නමුත් සමාජාර්ථකරණීය භූමිකාවට අනුව, බලය සේවා ලාභියාගෙන් ඇරඹිය යුතු වනුයේ, ස්වකීය ජීවිතය පිළිබඳ සැබෑ විශේෂඥයා එකී සේවා ලාභියාම වන බැවිනි. මේ අනුව පහළ සිට ඉහළට බලය ගලා යන එළඹුමකින් (bottom – up approach) සමාජ වෘත්තිවේදය ක්‍රියාත්මක විය යුතු බව පැහැදිලිය.

මේ අනුව වෛද්‍යවරයා-රෝගියා, නීතිඥවරයා-සේවා ලාභියා, ගුරුවරයා-ශිෂ්‍යයා, වැනි අසමාන බල සබඳතාවක් නොව සමාජාභිවර්ධකයා සහ සේවා ලාභීයා අතර ගොඩ නැඟිය යුත්තේ, සමාන බල සබඳතාවක් බව පැහැදිලිය. එහිදී, සේවා ලාභියාට ස්වකීය ජීවිතය පිළිබඳ තීරණ ගැනීමේ බලය හිමි වන අතර මේ අයුරින් බිම් මට්ටමින් කටයුතු අරඹා ඔවුන්ගේ සැබැ අවශ්‍යතා මත, ජීවිතයේ යහ පැවැත්ම වර්ධනය කරමින්, අයිතීන් ජය ගැනීම දක්වා අන්‍යොන්‍ය සහයෝගයෙන් යුතු ගමනක , සමාජාභිවර්ධකයා සහ සේවා ලාභීයා නිරත විය යුතු බව පැහැදිලිය.

Post a comment or leave a trackback: Trackback URL.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: