මානසික රෝගීන්ව රැකබලාගැනීමේ ඇතිවූ වෙනස්වීම් සහ ඒ තුළ මානසික රෝගීන්ගේ මානව අයිතිවාසිකම් ක‍්‍රියාත්මක වූ ආකාරය

එම්.ජී.එල්. මහේෂ් පේ‍්‍රමරත්න

හැදින්වීම

ජීවවිද්‍යාත්මක වශයෙන් මෙළොවට බිහිවන මානවයන් සියලූ දෙනාම පොදුවේ මිනිසුන් වන අතර, ඔවුනොවුන් අතර හමේ පාට, ශරීරයේ ප‍්‍රමාණය, හා හැඩය වැනි ජීවවිද්‍යාත්ම වෙනස්කම් මෙන්ම සමාජ සංස්කෘතික හා භූගෝලීය වශයෙන් වෙනස්කම් පවති. මිනිසුන් විවිධ සමාජ සංස්කෘතික සන්දර්භයන් තුළ ජීවත් වන අතර, ඒ ඒ සමාජ සංස්කෘතික තත්ත්වයන් මත ජාතී, ආගම්, කුල, වාර්ගික හා දේශපාලන, ආර්ථික, පන්ති, අධ්‍යාපන යනාදී ලෙස හා මිනිසා විසින් ගොඩනඟා ගත් තවත් බොහෝ සාධක පදනම් කරගෙන පුද්ගලයන් අතර වෙනස්කම් ගොඩනඟා ගෙන ඇත. එනමුත් භෞතික වශයෙන් සියලූම පුද්ගලයන් මානව ශරීරයක් සහිතව උපත ලබන සමාන ලක්ෂණ සහිත වූවන්ය. මේ අනුව සියලූම පුද්ගලයන් මනුෂ්‍යයන් යන ලේබලය යටතට වැටෙන අතර, එම ලේබලය අනුව සියලූම පුද්ගලයන්ට සමාන තත්ත්වයක් හිමිවිය යුතුය. පුද්ගලයන්ට මනුෂ්‍යයා යන ලේබලය යටතේ සමාන ආකාරයට හිමිකම් කීමට ලැබී ඇති එක් අයිතිවාසිකමක් වන්නේ මානව අයිතිවාසිකම් වේ. මානව අයිතිවාසිකම් යන සංකල්පය පිළිබඳව විවිධ නිර්වචනයන් පවතින අතර, එම නිර්වචන දෙස බලන විට පෙනීයන්නේ බොහෝ නිර්වචන මගින් පෙන්නුම් කරනු ලබන්නේ සමාන අදහසක් බවයි. එනම් විකිපීඩියා විශ්වකෝෂය මානව අයිතිවාසිකම් යන්න නිර්වචනය කර ඇත්තේ සෑම මිනිසෙකුටම හිමි අයිතීන් හා නිදහස යනුවෙනි (විකිපීඩියා 2010). ඇම්නෙස්ටි ජාත්‍යන්තරය (Amnesty International) විසින් මානව අයිතිවාසිකම් යන්න නිර්වචනය කර ඇත්තේ ජාතිකත්වය, ලිංගිකත්වය, ජාති හෝ වාර්ගික කණ්ඩායම, වර්ගය, ආගම, භාෂාව හෝ අනෙක් තත්ත්ව පිළිබඳව සැලකීමකින් තොරව සියලූම මිනිසුන් විසින් හිමිකම් කියන නිදහස හා මූලික අයිතිවාසිකම් ලෙසයි (ඇම්නෙස්ටි ජාත්‍යන්තරය 2010). මීට අමතරව එක්සත් ජාතීන් විසින් මානව හිමිකම් නිර්වචනය කරන්නේ "මනුෂ්‍යයන් වශයෙන් ජීවත්වීම සඳහා අත්‍යවශ්‍යයෙන් ම තිබිය යුතු අයිතිවාසිකම්” ලෙසය (2009: 51). මෙම සියලූම නිර්වචනයන් දෙස බලන විට පෙනීයන්නේ මානව අයිතිවාසිකම් යනු සෑම පුද්ගලයෙකුටම හිමිවන අයිතිවාසිකම් සමුදායක් බවයි. තවද එම අයිතිවාසිකම් පුද්ගලයන් අතර පවතින වෙනස්කම් පිළිබඳව සැලකීමකට ලක් නොකර මනුෂ්‍යයන්වීම නිසා ම හිමිවී ඇති අයිතිවාසිකම් සමුදායක් වේ. මේ අනුව රටක පවතින දියුණු හෝ නොදියුණු බව, යුධමය තත්ත්වයන් හෝ සාමකාමී තත්ත්වයන් හෝ පුද්ගලයන්ගේ පවතින විවිධ වෙනස්කම් එනම් ළමා, තරුණ, මහලූ, ස්ත‍්‍රී පුරුෂ, රෝගී නිරෝගී හෝ ජාති, ආගම්, වර්ණ, වර්ග, කුල, පන්ති ඇතුළු සියලූ භේද නොතකා සියල්ලන්ටම මෙම අයිතිවාසිකම් හිමිවිය යුතුය.

නමුත් සමාජය දෙස බලනවිට පෙනීයන්නේ සෑම පුද්ගලයෙකුට එක හා සමානව සැලකීමක් නොවන බවයි. එහිදී විවිධ සාධක පදනම් කරගෙන පුද්ගලයන්ට සමාජය තුළ විවිධාකරයෙන් සලකන බව දැකිය හැකිය. එහිදී සියලූම පුද්ගලයන් මනුෂ්‍යයන්වී ඉපදීම නිසා හිමිවිය යුතු පොදු අයිතිවාසිකම් පවා වෙනස් ආකාරයෙන් පුද්ගලයන්ට හිමිවන බව දැකිය හැකිය. මෙවන් තත්ත්වයකට මුහුණදීමට සිදුවී ඇති එක් පුද්ගල කණ්ඩායමක් ලෙස මානසික රෝගීන්ව දැක්විය හැකිය. විශේෂයෙන් මානසික රෝගී පුද්ගලයන් ගතහොත් ඔවුන්ට පොදු සමාජ අවකාශය තුළ අනෙක් රෝගී පුද්ගලයන් හා සාමාන්‍ය පුද්ගලයන්ට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකට සලකන බව දැකිය හැකිය.

මනසික රෝගීන් ලෙස නිර්වචනය කිරීම තුළ සිටම අනෙක් රෝගීන්ට හා සාමාන්‍ය පුද්ගලයන්ය වඩා සාපේක්ෂ වශයෙන් වෙනස් ආකාරයකට මානසික රෝගීන්ට සලකන බව දැකිය හැකිය. ජෛව වෛද්‍ය ආකෘතිය තුළ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයා යන්න සංකල්පගත කර ඒ තුළට අනෙක් පුද්ගලයන් ඇතුළත් කරන අතර, එහිදී අදාළ සෞඛ්‍ය තත්ත්ව නොමැති පුද්ගලයන්ව රෝගීන් ලෙස නිර්වචනය වේ. සෞඛ්‍ය යන සංකල්පය සඳහා පවතින නිර්වචනයන් කිහිපයක් පොදුවේ විමසා බලන විට පෙනීයන්නේ එම සංකල්පයට ලෙඩ රෝග හා ආබාධ වලින් තොරවීම, කායිය, මානසික, ආධ්‍යාත්මික සහ සාමාජීය යහපැවැත්ම යන අංශ සියල්ලම යහපත්ව පවත්වා ගැනීම ඇතුළත් වන බවයි (ලෝක සෞඛ්‍ය සංවිධානය 2006, විල්සන් 2007). මානසික රෝගාබාධ යන්න නිර්වචනය කිරීමේදී දැකිය හැක්කේ සෞඛ්‍යය පිළිබඳව ගොඩනඟා ඇති යම් යම් තත්ත්ව පුද්ගලයා තුළින් අපේක්ෂිත ලෙස නොපවතින තත්ත්වයන් පදනම් කරගන්නා බවයි

විකිපීඩියා විශ්ව කෝෂයට අනුව මානසික රෝගීත්වය යනු “මානසික හා චර්යාවට සම්බන්ධ වන දෙයක් වන අතර, එය සාමාන්‍ය සංවර්ධනයේ හා සංස්කෘතියේ කොටසක් වශයෙන් බලාපොරොත්තු නොවූ දෙයකි” (2009). මෙම නිර්වචනයට අනුව පෙනී යන්නේ සමාජය සාමාන්‍ය පුද්ගලයකුගෙන් බලාපොරොත්තු වන හැසිරීම් රටාවන් නොපවතින තත්ත්වයකදී හා පුද්ගලයා පීඩනයට පත්වන හා ඔහුගේ කාර්යයන් කිරීමට නොහැකි වන තත්ත්වයන් මානසික රෝග නිර්වචනය කිරීමේදී අදාළ කරගන්නා බවයි. කි‍්‍රස්ට්-අෂ්මන්ට අනුව මානසික රෝගීත්වය යනු ”පුළුල් මට්ටමෙන් මිනිසාගේ ඵලදායි කාර්යයන් කිරීමේ හැකියාවට බාධා පමුණුවන මානසික, චිත්තවේගීමය හා ප‍්‍රජානන ආබාධ වේ” (2003: 316). මෙම නිර්වචනයට අනුව මානසික රෝගයන් සෑදෙන්නේ පුද්ගලයාගේ අභ්‍යන්තර සාධක මත බවත්, එමගින් පුද්ගලයාගේ සාමාන්‍ය ජීවිතයේ කටයුතුවලට බාධා සිදුවන බව දක්වයි. පිල්ග්රීම් මානසික රෝග කෘත්‍යාත්මක මානසික රෝග හා ඓන්දීය මානසික රෝග ලෙස කොටස් දෙකක් යටතේ දක්වයි. කෘත්‍යාත්මක මානසික රෝග යන්නට කථනයේ හා ක‍්‍රියාකරකම්වල අසාමාන්‍යතාවයන් ඇතිවීම ද, ඓන්දීය මානසික රෝග යන්නට මෙම දක්වන රෝග ලක්ෂණවලට අමතරව නිරීක්ෂණය කළ හැකි හෝ මැණීමට හැකි කායික අසමානතාවයන් ඇතුළත්වේ (2005: 15). මෙම නිර්වචනයට අනුව පෙනීයන්නේ මානසික රෝගීත්වය සාමාන්‍ය සමාජය විසින් අපේක්ෂිත හැසිරීම් රටාවන්වලින් වෙනස්වන තත්ත්වයන් පදනම් කරගෙන තීරණය කරන බවයි. පොදුවේ බලන විට පෙනීයන්නේ මානසික රෝග පිළිබඳව නිර්වචනය කිරීමේදී පුද්ගලයාට සම්බන්ධ සාධක මෙන්ම සමාජ සාධක කෙරෙහි ද අවධානය යොමු කරන බවයි. විශේෂයෙන් මෙහිදී පුද්ගලයාගේ අසාමාන්‍ය හැසීරීම් රටාවන් සැලකිල්ලට ගන්නා බව දැකිය හැකිය. සාමාන්‍ය රෝගී තත්ත්වයන් පිළිබඳව තීරණය කිරීමේදී ශරීරයේ ඇතිවන ජීවවිද්‍යාත්ම වෙනස්කම් පදනම් කරගන්නා අතර, එම වෙනස්කම් මත පදනම් වී රෝග විනිශ්චය කරනු ලබයි. ඉහත නිර්වචනයන් දෙස බලන විට පෙනීයන්නේ මානසික රෝගාබාධ නිර්වචනය කිරීමේදී ජීවවිද්‍යාත්ම සාධක වලට අමතරව, සමාජ සාධක කෙරෙහි ද අවධානය යොමු කරන බවයි. මේ අනුව පෙනීයන්නේ මානසික රෝගාබාධ නිර්වචනය කිරීම තුළ සිටම අනෙක් රෝගීන්ට වඩා සාපේක්ෂ වශයෙන් වෙනස් තත්ත්වයක් මානසික රෝගීන් සම්බන්ධයෙන් පවතින බවයි.

ඉහත දක්වන ලද ආකාරයට නිර්වචනය වන මානසික රෝගාබාධ පිළිබඳ සංඛ්‍යා දත්ත විමසා බැලීමේදී දැකිය හැක්කේ මානසික රෝගාබාධ සමාජයට දැඩි බලපෑමක් ඇති කරන තත්ත්වයකට පත්වී ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයට (2001) අනුව දැනට ලෝකයේ පවතින ප‍්‍රධාන ආබාධ දහයෙන් මානසික ආබාධ සිව්වැනි තැනට පත්වී තිබෙන අතර, විසිවන සියවසේ මානව චර්යාවට විශාල ලෙස බලපෑමක් ඇති කළ ඖෂධ කාණ්ඩ අතර මනෝවිද්‍යාත්මක ඖෂධ ද පවතින අතර, ඊළඟ අවුරුදු විස්ස ඇතුළත විෂාදය රෝගය ලෝකයේ ඇති බලවත් රෝගවලින් දෙවන ස්ථානයට පත්වන අතර, මිලියන විසි හතරක භින්නෝද්මාන රෝගීන් සිටිනු ඇත (ලෝක සෞඛ්‍ය සංවිධානය 2001: 3). ශ‍්‍රී ලංකාව තුළ මානසික රෝගී තත්ත්වය පිළිබඳව විමසා බලන විට පෙනී යන්නේ ශ‍්‍රී ලංකාවේ සෑම පුරවැසියන් දහ දෙනෙකු අතර එක් අයෙක් සුළු මානසික රෝගාබාධයකින් පෙළෙන අතර, සිව්දෙනෙකුගෙන් එක් අයෙක් ඌග‍්‍ර මානසික රෝගාබාධ වලින් පෙළෙන බවයි (රාජකරුණා 2000: 36). ශ‍්‍රී ලංකාව සඳහා ජාතික සෞඛ්‍ය ප‍්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාවට (1993) අනුව “දෙන ලද ඕනෑම වේලාවක ජනගහනයෙන් 5-10% දක්වා වන සංඛ්‍යාවක වෘත්තීය සහය අවශ්‍ය වන චිත්තවේගාත්මක ප‍්‍රශ්න වලින් පෙළෙන බව ඇස්තුමේන්තු කර තිබෙන අතර, 2% ක් පමණ විශේෂඥ ප‍්‍රතිකාර අවශ්‍ය බරපතල මානසික ආබාධ (මනෝ ව්‍යාධි) වලින් පෙළෙති” (ශ‍්‍රී ලංකාව සඳහා ජාතික සෞඛ්‍ය ප‍්‍රතිපත්තියක් සකස් කිරීම පිළිබඳ ජනාධිපති කාර්ය සාධක බලකායේ වාර්තාව 1993: 25). එසේම ශ‍්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය තුළ දක්වා ඇති ආකාරයට සිවිල් ගැටුම් නිසා හා 2004 වර්ෂයේ ඇති වූ සුනාමි ව්‍යවසනය නිසා ජනගහනයෙන් 2% ක් පමණ මානසික රෝගාබාධ වලින් පෙළෙන බව තක්සේරු කර තිබේ (ශ‍්‍රී ලංකාවේ මානසික සෞඛ්‍ය ප‍්‍රතිපත්තිය- 2005). තවද මෑතකදී සුරාලෝලීන් පිළිබඳ කරන ලද අධ්‍යයනයකට අනුව පිරිමින්ගෙන් 25% ක් ද, ගැහැණුන්ගෙන් 17% ක් පමණ සමාජ භීතිකා වලින් පෙළෙන බව පෙනී ගොස් තිබේ (ගුණසේකර 1991: 80). මේ සංඛ්‍යා ලේඛන අනුව පෙනී යන්නේ සමස්තයක් ලෙස ලෝකයේ පමණක් නොව ශ‍්‍රී ලංකාවේ ද මානසික රෝගාබාධ සමාජයට බලපෑමක් ඇති කරන තත්ත්වයට පත් වී ඇති බවයි.

ඉහත දක්වන ලද කරුණුවලට අනුව පෙනීයන්නේ මානසික රෝගාබාධ යනු වර්තමානයේ පමණක් නොව අනාගතයේදී ද සමාජයට දැඩි බලපෑමක් කරන රෝගාබාධයක් බවට පත්වී ඇති බවයි. එම නිසා මානසික රෝගීත්වය නිර්වචනය කිරීමේ පටන්ම සාමාන්‍ය පුද්ගලයන්ට හා අනෙක් රෝගී පුද්ගලයන්ට වඩා වෙනස් තත්තවයක් හිමි වී ඇති මානසික රෝගී පුද්ගලයන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳව සැලකිලිමත්වීම වැදගත් වන බව දැකිය හැකිය. මෙම ලිපිය මගින් මූලික වශනේ උත්සහ ගනු ලබන්නේ මානසික රෝගීන් සම්බන්ධයෙන් විවිධ සමාජ සංස්කෘතික තත්ත්වයන් යටතේ මානසික රෝගීන්ගේ මානව අයිතිවාසිකම් ක‍්‍රියාත්මක වූ ආකාරය හා වර්තමානයේ මානව අයිතිවාසිකම් ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳව පැහැදිලි කිරීමටය. එහිදී මෙම ලිපියේ ඉදිරි කොටස් මගින් අවධානය යොමු කරන්නේ මානසික රෝගීන් සම්බන්ධයෙන් මානව අයිතිවාසිකම් අදාළ වන ආකාරයත්, ඉන් පසුව මානසික රෝගීන්ගේ මානව අයිතිවාසිකම් ඓතිහාසික යුගයන්හී සිට වර්තමානය දක්වා වූ කාලපරිච්ඡේදය තුළ ක‍්‍රියාත්මක වූ ආකාරයත් පිළිබඳවය. මෙම ලිපියේ අවසාන කොටසින් මානසික රෝගීන්ගේ මානව අයිතිවාසිකම් ක‍්‍රියාත්මකවීම සම්බන්ධව වර්තමාන ප‍්‍රවණතාවය පිළිබඳව අවධානය යොමු කරනු ලැබේ.

සම්පූර්ණ ලිපිය කියවීම සඳහා පහත යොමුවට පිවිසෙන්න.

මානසික රෝගීන්ව රැකබලාගැනීමේ ඇතිවූ වෙනස්වීම් සහ ඒ තුළ මානසික රෝගීන්ගේ මානව අයිතිවාසිකම් කරිස යාත්මක වූ ආකාරය

Post a comment or leave a trackback: Trackback URL.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: