පාර්සන්ස්ගේ න්‍යාය ගැන්වීම් අනුව ලාංකික සමාජ පර්යාය පිළිබඳ කුඩා දැක්මක්

උන්නතී සමරවීර

ටැල්කොට් පාර්සන්ස්ට අනුව, සංස්කෘතිය, සමාජ පද්ධතිය සහ පෞරුෂය යන ප්‍රධාන සමාජයීය ප්‍රපංචයන් ත්‍රිත්ත්වයේ අනුකලනයෙන් සමාජ පර්යාය නිර්මාණය වේ. මෙහිදී සංස්කෘතියේ නිර්දේශිත ආකාරයන්ට අනුව මිනිසා හැසිරෙන අතර ඒ හරහා පුද්ගල පෞරුෂ නිර්මාණය වීම සිදු වේ. එනම් , ශ්‍රී ලංකාවේ සිංහල – බෞද්ධ සංස්කෘතිය තුළ සමාජානුයෝජනය හරහා ඉගැන්වෙන මූලික කරුණකි, පුරුෂයකු නම් කාන්තාවක සමඟත්, කාන්තාවක් නම් පුරුෂයකු සමඟත් පමණක් විවාහ විය යුතුයි යන ධර්මතාව.මෙසේ විරුද්ධ ලිංගික විවාහය පමණක් අනුමත කරන ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ, එම සංස්කෘතියට අනුගත නොවන ආකාරයේ සමලිංගිකත්වය කරා යොමු වූ පුද්ගල පෞරුෂයක් ගොඩ නැඟුනහොත් එය ගැටලුකාරී වේ.

එසේම, සංස්කෘතිය, සමාජ පද්ධතිය සමඟ ද ගැළපිය යුතු බව පාර්සන්ස් කියයි.විරුද්ධ ලිංගික ඒක විවාහ පමණක් නිවැරදි යැයි දකින නූතන ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ සමාජ පද්ධතියේ එක් උප පද්ධතියක් වන නීති පද්ධතිය මඟින් ද විරුද්ධ ලිංගික ඒක විවාහ පමණක් නීතිගත කොට, සමලිංගික චර්යාව අපරාධයක් වශයෙන් දණ්ඩ නීති සංග්‍රහයෙහි අඩංගු කොට තිබීමෙන්, සංස්කෘතිය සමාජ පද්ධතිය සමඟ ද ගැළපිය යුතු යැයි පාර්සන්ස් දක්වන අදහස ශ්‍රී ලාංකික සන්දර්භය තුළත් නිරීක්ෂණය කළ හැකි බව විද්‍යමාන වේ.

කෙසේ වුවත්, වර්තමානය වන තුරු 365(අ) වගන්තිය ප්‍රකාරව සමලිංගික පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වූ බවට ශ්‍රී ලාංකික සන්දර්භය ආශ්‍රිතව සාක්ෂි සොයා ගැනීම අපහසු වුව ද සමාජයීය වශයෙන් එවැනි පුද්ගලයන් අතවර සහ හිංසනයන්ට ලක් වීම නිරන්තරයෙන් සිදු වන බව තහවුරු වේ.මෙහිදී පැන නඟින කරුණ වනුයේ, පවතින අගයයන්ට විරුද්ධ වීම නිසා අපගාමී චර්යාවක් වශයෙන් සාමජමය වශයෙන් බහිෂ්කරණයට ලක් වූ නමුත් ස්වකීය සමලිංගික අනන්‍යතාව සඟවාගෙන කෙසේ හෝ මෙම සමාජ පර්යාය තුළ සමලිංගික ප්‍රජාවත් ජීවත් වීම වේ.ඒ අනුව පාර්සන්ස් දකින සමස්තයට සාපේක්ෂව සුළු පිරිසක් නොගැළපිය හැකි බව තහවුරු වේ.

එසේ වුවත්, සංස්කෘතිය , සමාජ පද්ධතිය සහ පෞරුෂය යන ත්‍රිත්ත්වය අතර ප්‍රමාණවත් අනුකලනයකින් තොරව සමාජ පර්යාය පවත්වා ගෙන යා නොහැකි අතර එය ආතතියක පවතින්නක් බව පාර්සන්ස් කියයි. මෙහිදී ශ්‍රී ලංකාවේ වසර තිහක් පුරා පැවති යුද්ධය ගත් විට , එසේ යුද්ධය පැවතියදී පවා ලාංකික සමාජ පද්ධතිය පවත්වාගෙන ගිය බව අපට නිරීක්ෂණය කළ හැක. කෙසේ වුව ද මෙම අවධියේ දී පවා, පූර්ණ අනුකලනය සහ එයින් දුරස්ථ වීම අතර වන ආතතිමය තත්ත්වයක් මෙම සන්දර්භයේ ද ක්‍රියාත්මක් වූ බවක් අපට ප්‍රකාශ කළ හැකි වේ.

එනම්, හමුදා සෙබළෙකු ලෙස ‍රැකියාව ලබා යුද්ධයට එක් වූ පුද්ගලයෙකු රට ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේ සැබෑ අභිප්‍රායයෙන් මෙන්ම උපාධියක් ලබා වි‍රැකියාවෙන් පෙළීම නිසාම හුදෙක් ‍රැකියාවක නියුතු වීමේ අරමුණෙන් ද හමුදාවට එකතු විය හැක. මෙහිදී උපාධිධාරියෙකු වි‍රැකියාව හේතුවෙන් හමුදාවට එකතු වූයේ නම් ඔහුගේ සමාජ තත්ත්වය සහ සමාජ භූමිකාව අතර යම් ඝට්ටනයක්, ආතතිමය තත්ත්වයක් ද නිර්මාණය වේ.කෙසේ හෝ පූර්ණ කැමැත්තකින් තොරව ‍රැකියාවට පැමිණිය ද, පූර්ණ අනුකලනයකින් තොරව වුවත් ඔහු එම ‍රැකියාවේ අඛණ්ඩව නියැලීමට පෙළඹිය හැක. පාර්සන්ස් දකින සැබෑ අනුකලනයේ අවම මට්ටම මෙය වේ.

මෙහිදී ”කෙසේ හෝ” සමාජ පද්ධතිය පවත්වාගෙන යන බව , පරිපූර්ණව නොව අවම මට්ටමෙන් එය සිදු වන බව පාර්සනස්ගේ තර්කය වේ. උගැන්ඩාවේ ඉඩි අමීන් ඒකාධිපති පාලනය, හිට්ලර්ගේ පාලනය, ප්‍රංශ විප්ලවය, ශ්‍රී ලංකාවේ1971 තරුණ කැ‍රැල්ල, 88-89 භීෂණ සමය ආදී වූ මේ සියලු උදාහරණ ගත් විට,පුද්ගලයාගේ සාමූහික ක්‍රියාකාරකම්වලට අවශ්‍ය අයිතීන් උල්ලංගනය වී, සමාජ අනුකලනය බිඳ වැ‍ටුණු අවස්ථා ලෙස මේවා ඉදිරිපත් කළ හැකි වේ. එසේ තිබියදී පවා පාර්සන්ස්ගේ න්‍යායේ එන ”කෙසේ හෝ” සමාජ පර්යාය පවත්වා ගෙන යන බව ප්‍රත්‍යක්ෂ වේ. මේ අනුව මිනිසා හුදෙක් තාර්කික, ආත්මාර්ථකාමී,ගණන් මිමි බලා වැඩ කරන පුද්ගලයකු ලෙස දකිමින්, ඒ තුළ එකිනෙකාට එරෙහි යුද්ධයක මිනිසා නියැලී සිටින බවට හොබ්ස් ගෙන එන අදහසට ප්‍රතිවිරුද්ධව, සමාජ පර්යාය පවත්වා ගෙන යන්නේ කෙසේද යන්න කෙරෙහි පාර්සන්ස්ගේ මූලික උනන්දුව යොමු වූ බව පැහැදිළිය.

එහිදී පාර්සන්ස් මතු කිරීමට උත්සාහ කරනුයේ, පුද්ගල අරමුණු අහඹු ඒවා නොව සමාජය තුළින් ලැබෙන ඒවා වන බවයි. එනම්, සමාජයීය වශයෙන් පිළි ගන්න වෘත්තියක නියැලීමට නම්, විශ්ව විද්‍යාල උපාධියක් ලබා ගැනීම වඩා යෝග්‍යය, යන අරමුණ මෙන්ම එම අරමුණ සාධනය කර ගැනීමට උසස් පෙළ හොඳින් සමත් වී දේශීය විශ්ව විද්‍යාලයකට ඇතුළු වීම, මූල්‍ය පහසුකම් තිබේ නම් විදේශීය විශ්ව විද්‍යාලයකට ඇතුළු වීම, නැතහොත් බාහිර උපාධිය හැදෑරීම වැනි අදාළ අරමුණ සාධනය කර ගත හැකි විවිධ මාර්ග අපට ලැබෙන්නේ ද සමාජාය තුළිනි. මෙහිදී, හුදෙක් ඒවා සමාජය මඟින් ලැබෙන නිසා පමණක් නොව, එම මාර්ගයන් නිවැරදි බව අප විශ්වාස කරන නිසාත්, ඒවා අනුගමනය කිරීමට සැබැවින්ම අපට අවශ්‍ය වන නිසාත්, අප එසේ ක්‍රියාත්මක වන බව පාර්සන්ස්ගේ අදහස වේ.

පාර්සන්ස්ට අනුව මෙසේ විශ්ව විද්‍යාලයට පැමිණ උපාධියක් ලබා ගැනීමට අප කටයුතු කරනුයේ, මෙකී අභිප්‍රේරිත අනුගත වීම හේතුවෙනි. එහිදී තමා පිළිබඳ පමණක් නොව මෙම නිවැරදි යැයි තමා හඳුනා ගත් මාර්ගයේ ගමන් කිරීම, සියලු දෙනාගේ සාමූහික යහපතට ද හේතු වන බව පාර්සන්ස් දකී. නමුත්, අඩු ආදායම් ප්‍රජාව ලෙස අප හඳුන්වන සාමාන්‍ය ව්‍යවහාරයේ දී මුඩුක්කු පරිසරය යැයි හැඳින්වෙන පරිසරයක ජීවත් වන , එම පරිසරය ආශ්‍රිතව හැදී වැඩෙන ප්‍රජාව, එම උප සංස්කෘතියේ අගයයන් වැළඳ ගෙන, අපරාධ සඳහා, මත් ද්‍රව්‍යය භාවිතය සඳහා, යොමු වන විට, එවැනි තත්ත්වයක් අභිප්‍රේරිත අනුගත වීමට වඩා වෙනස් තත්ත්වයක්ද?එය නිවැරදි බව තරයේ විශ්වාස කරමින් ඔවුන් එයට යොමු වෙනවාද? යන්න පැණයකි.

කෙසේ වුවද, සාමූහිකතවය මත පදනම්ව සංස්කෘතිය, සමාජ පද්ධතිය සහ පෞරුෂය යන ත්‍රිත්ත්වයෙහි අනුකලනයෙන් සමාජ පර්යාය පවත්වාගෙන යන බව පාර්සන්ස්ගේ න්‍යාය ගැන්වීමේ මූලික තර්කය බව පැහැදිලි වේ.

Post a comment or leave a trackback: Trackback URL.

Comments

  • Chamathka Devasirie  On February 26, 2011 at 5:29 pm

    Enjoyed reading this, Unnathi!

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: