Monthly Archives: April 2011

අන්තර්ක්‍රියාව සම්බන්ධ සමාජ නීති

චමත්කා දේවසිරි

(පහත දැක්වෙන්නේ ඇන්තනි ගිඩ්න්ස්ගේ (2006) ‘සෝශිඔලජි’ කෘතියේ ‘සෝශල් ඉන්ට‍රැක්ශ්න් ඇන්ඩ් එව්රිඩේ ලයිෆ්’ පරිච්ඡේදයේ අන්තර්ගත මානවංශක්‍රමවේදය පිළිබඳව දැක්වෙන තොරතුරු කිහිපයක පරිවර්තනයකි.)

අප පුරුද්දක් වශයෙන් අපේ හැසිරීම්වලදී සහ අන් අයගේ හැසිරීම් තේරුම් ගැනීමේදී නිර්වාචික සංඥා උපයෝගී කර ගන්නා නමුත්, අපගේ බොහෝ අන්තර්ක්‍රියා, අන් අය සමඟ කෙරෙන අවිධිමත් සාකච්ඡා තුළ හුවමාරු වන වාචික සංඥාවලින් සිදු කෙරේ. සමාජ ජීවිතයට භාෂාව මූලික වන බව සමාජවිද්‍යාඥයින් සැමවිටම පිළිගන්නා කරුණකි. කෙසේ වෙතත්, මෑතකදී මිනිසුන්ගේ එදිනෙදා සාමාන්‍ය සන්දර්භයන් තුළදී භාෂා භාවිතය ගැන විශේෂයෙන් සැලකිලිමත් වන එළඹුමක් වර්ධනය වී ඇත.

මානවංශක්‍රමවේදය යනු මිනිසුන් අන් අය කරන, විශේෂයෙන් කියන, දේවල්වලට අර්ථයක් දීමට භාවිතා කරන මානවංශ ක්‍රම- සාමාන්‍ය, ජන ක්‍රම- පිළිබඳ අධ්‍යනයයි. මෙම පදය, අප පහත සාකච්ඡා කරන, හැරල්ඩ් ගා’‍ෆින්කල් විසින් එකතු කර හඳුන්වා දෙන ලද්දකි. අපි සියල්ලෝම, සචේතනික අවධානයකින් තොරව මෙම ක්‍රම සාමාන්‍යයෙන් භාවිතා කරන්නමු. බොහෝවිට අපට සාකච්ඡාවකදී කියැවෙන දේ තේරුම් ගත හැකිවන්නේ එය කියැවෙන සමාජ සන්දර්භය අප දන්නේ නම් පමණි. මෙය ඒ ඒ වචන තුළ අන්තර්ගත වී නැති විය හැක. උදාහරණයක් හැටියට මේ සාකච්ඡාව ගමු (හෙරිටේජ් 1985):

A: මට අවුරුදු දහහතරක පුතෙක් ඉන්නවා.

B: ආ, ඒක ප්‍රශ්නයක් නෙවේ.

A: මට බල්ලෙකුත් ඉන්නවා.

B: ආ.. කනගා‍ටුයි ඒ ගැන.

ඔබ සිතන ආකාරයට කුමක්ද මෙහිදී සිදුවන්නේ? මේ දෙදෙනා අතර පවතින සම්බන්ධතාවය කුමක්ද? ඔබට මේ සාකච්ඡාව ගෙවල් හිමියකු සහ ගෙයක් කුලියට ගන්න අපේක්ෂා කරන අයෙකු අතර සිදුවන සාකච්ඡාවක් යැයි කීවොත්? එවිට මෙම සාකච්ඡාව ඔබට තේරුම් ගත හැක්කක් වනු ඇත: සමහර ගෙවල් හිමියෝ දරුවන් සිටින අයට ගෙවල් දෙන නමුත් සුරතල් සතුන් ඇති කරන අයට ගෙවල් දීමට මැලි වෙති. අප මෙම සමාජ සන්දර්භය නොදන්නේ නම්, Bගේ ප්‍රතිචාර Aගේ කියමන්වලට කිසිඳු සම්බන්ධයක් නැතැයි සිතනු ඇත. අර්ථයේ කොටසක් වචනවල ගැබ් වී ඇත. කොටසක් සමාජ සන්දර්භය තුළින් අර්ථය පිළිබිඹු වන ආකාරය තුළ ගැබ් වී ඇත.

සම්මත කරගත් අර්ථ

එදිනෙදා සාමාන්‍ය කතාබහේ කිසිඳු වැදගත්කමක් නැති කථන ස්වරූප තුළින් පවා කථිකයන් විසින් සංකීර්ණ සහ සම්මත යැයි අනුමාන කෙරෙන ඥානය ගෙන හැර දැක්වේ. ඇත්ත වශයෙන් කියතොත්, අපගේ එදිනෙදා කතාබහ පවා ඉතා සංකීර්ණයි. මෙම හේතුව නිසා මිනිසකු සමඟ බොහෝ වේලාවක් දක්ෂ ලෙස සාකච්ඡාවේ යෙදෙන්නට, දැනට පවතින දියුණුම සහ නවීනතම පරිගණක පවා සකස් කළ නොහැකි වී ඇත. එදිනෙදා කතාබහේදී භාවිතා වන වචනවලට සෑමවිටම නිශ්චිත අර්ථ නැත. අපි අපට කීමට අවශ්‍ය දෙය, ඊට පසුබිම් වන, වාචිකව ප්‍රකාශ නොවන උපකල්පන තුළින් ‘සකස් කර’ ගන්නෙමු. මරියා ‘ඊයේ ඔයා මොනවද කළේ?’ කියා ටොම්ගෙන් ඇසුවොත්, එම ප්‍රශ්නයේ වචන තුළින් ඇඟවෙන නිශ්චිත පිළිතුරක් නැත. දවසක් කියන්නේ දිග කාලයක්. එමනිසා, ටොම්ට පහත ආකාරයට ප්‍රතිචාර දැක්වීම තර්කානුකූල විය හැක. ‘මං ඉතිං, 7.16ට ඇහැරුණා, 7.18ට මං ඇ‍ඳෙන් බැස්සා, නාන කාමරයට ගිහිං මං දත් මදින්න පටන් ගත්තා. 7.19ට මං වතුර මල විවෘත කළා…’ එනමුත් මෙම ප්‍රශ්නය තුළින් මරියා බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ ප්‍රතිචාරයක් ද කියා, ටොම් සහ මරියාට අනුව මොන මොන ක්‍රියාකාරකම් මේ ප්‍රශ්නයට අදාළ ද කියා, සහ ටොම් සතියේ එක් නිශ්චිත දිනයකදී සාමාන්‍යයෙන් කරනා දේවල් මොනවාද කියා අපි තේරුම් ගන්නෙමු.

ගා’‍ෆින්කල්ගේ අත්හදා බැලීම්

clip_image001

අප අපගේ සාමාන්‍ය සාකච්ඡා සංවිධානය කරගන්නා ‘පසුබිම් අපේක්ෂාවන්’ හැරල්ඩ් ගා’‍ෆින්කල් (1963) තම ශිෂ්‍යයන් සමඟ සිදුකළ අධ්‍යනයන් තුළින් ඉස්මතු කර දක්වා ඇත. මෙම ශිෂ්‍යයන්ට මිත්‍රයෙකු හෝ ඥාතියකු සමඟ සාකච්ඡාවක යෙදෙමින්, එහිදී කියැවෙන සාමාන්‍ය ප්‍රතිචාර සහ කියමන් තුළින් මතුවන අර්ථ නිශ්චිත කර ගැනීමට ක්‍රියාකාරී ලෙස යොමු වීමට උපදෙස් දෙන ලදී. අයෙකු ‘සුභ දවසක් වේවා’ යැයි කිවහොත්, ‘මොන ආකාරයේ සුභබවක් ද ඔබ අදහස් කරන්නේ?’, හෝ ‘ඔබ දවසේ කුමන කොටස ගැන ද කතා කරන්නේ?’ යන ආදී වශයෙන් ප්‍රතිචාර දක්වන්න යැයි මෙම ශිෂ්‍යයන්ට පවසා ඇත. මේ ආකාරයට සිදුවුණු එක් දෙබසක් පහත දැක්වේ. (S යනු මිත්‍රයෙකි, E යනු ශිෂ්‍යයා ය.)

S: ඔයාට කොහොමද?

E: ඒ කියන්නේ? මගේ සෞඛ්‍ය ද, මගේ මූල්‍යමය තත්ත්වය ද, මගේ පාසල් වැඩ ද, මගේ මානසික තත්ත්වය ද, මගේ..?

S: [මුහුණ රතු වී, කර කියාගත දෙයක් නැතිව]: මේ බලන්න! මං ආචාරශීලී වෙන්න එහෙම ඇහුවෙ. ඇත්තම කියනව නං, ඔයාට කොහොමද කියලා දැනගන්න මට කිසි උවමනාවක් නෑ.

මෙලෙස කථනයේ සුළු සම්මුතීන් අනුගමනය නොකළ විට මිනිසුන් මෙතරම් කලබල වන්නේ ඇයි? මෙයට පිළිතුර වන්නේ, අප පවසන දේවල් සහ ඒවා පවසන්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන්, ප්‍රකාශයට පත් නොකෙරෙන, අප සාමූහිකව පිළිගන්නා, සංස්කෘතික උපකල්පනයන් මත අපගේ එදිනෙදා සමාජ ජීවිතයේ ස්ථාවරත්වය සහ අර්ථවත්භාවය රඳා පැවතීමයි. අපට මේවා දෙන ලද දේවල් වශයෙන් භාරගත නොහැකි නම්, අර්ථවත් සන්නිවේදනය කළ නොහැක්කක් වනු ඇත. ඕනෑම ප්‍රශ්නයකට හෝ සාකච්ඡාවක කොටසකට හෝ අනතුරුව, ගා’‍ෆින්කල්ගේ පර්යේෂණයකදී මෙන්, විශාල ‘ගවේෂණ ක්‍රියාවලියක්’ ඇති වුණ හොත්, අන්තර්ක්‍රියාව කඩා වැටෙනු ඇත. මේ ආකාරයට මුලදී කථනයේ නොවැදගත් සම්මුතීන් වශයෙන් හැඟුණු දේ සමාජ ජීවිතයේ නිර්මාණයට මූලික වන බව අපට පෙනේ. එම නිසා මේවා උල්ලංඝනය කිරීම බරපතළ කරුණකි. එදිනෙදා ජීවිතයේ දී, මිනිස්සු සමහර අවස්ථාවන්හිදී උවමනාවෙන් ප්‍රකාශයට පත් නොකෙරෙන දැනුම පිළිබඳ නොදැනුවත්බවක් මවාපාති. අන් අයට බලාපොරොත්තු නොවූ ආකාරයකට විරෝධය පෑමට, අන් අය විහිළුවට ලක් කිරීමට, අන් අය අපහසුතාවයට පත් කිරීමට හෝ කියන ලද දෙයෙහි වෙනත් අර්ථ කෙරෙහි අවධානය යොමු කරවීමට මිනිස්සු මේ ආකාරයට ක්‍රියා කරති. මවක සහ නව යෞවන වියෙහි පසුවන දරුවකු අතර ඇති වන මෙම සාකච්ඡාව සලකා බලන්න.

මව: ඔයා කොහෙද යන්නෙ?

දරුවා: එළියට.

මව: මොනවද කරන්න හදන්නේ?

දරුවා: මුකුත් නෑ.

මෙම ගැටවරයාගේ ප්‍රතිචාර ගා’‍ෆින්කල්ගේ පර්යේෂණවට සම්පූර්ණයෙන් විරුද්ධ ප්‍රතිචාර වේ. ගා’‍ෆින්කල්ගේ පර්යේෂණයක දී මෙන්, සාමාන්‍යයෙන් නොකෙරෙන ආකාරයට, ප්‍රශ්න කිරීමෙන් බැහැර වන මෙම ගැටවරයා සුදුසු ප්‍රතිචාර දැක්වීම පවා ප්‍රතික්ෂේප කරයි. ඔහුගේ ප්‍රතිචාරවලින් ඉඳුරා ප්‍රකාශ වන්නේ, ‘තමන්ගේ වැඩක් බලාගන්න!’ යන්නයි.

මෙම පළමුවන ප්‍රශ්නයට වෙනත් සන්දර්භයක් තුළ වෙනත් පුද්ගලයකුගෙන් වෙනස් ප්‍රතිචාරයක් ලැබිය හැක:

A: ඔයා කොහෙද යන්නෙ?

B: මං මේ වංගුව වටේට හිමින් යනවා.

B උවමනාවෙන් උපහසාත්මක ලෙස කනස්සල්ලක් ප්‍රකට කිරීමට Aගේ ප්‍රශ්නය වැරදියට අර්ථකථනය කරයි. කථනයේ ප්‍රකාශයට පත් නොවන උපකල්පනයන් උවමනාවෙන් වැරදියට තේරුම් ගැනීම මත හාස්‍යය සහ උපහාසය පෝෂණය වේ. මෙවැනි තත්ත්වයන් තුළ, මෙය සිනහව ඉපැදවීමට ගැනෙනා උත්සහයක් බව අදාළ පාර්ශ්වයන් දන්නේ නම්, අවදානම් සහගතබවක් නැත.

කාල් මෑන්හයිම්ට අනුව ‘සිතීම’ යනු කුමක්ද?

චමත්කා දේවසිරිclip_image002

කොළඹ විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඥානය පිළිබඳ සමාජවිද්‍යාව පාඨමාලාවේ අමතර කියැවීම් වශයෙන් නිර්දේශිත කාල් මෑන්හයිම්ගේ ‘අයිඩියලොජි ඇන්ඩ් යුටෝපියා’ කෘතියේ, මිනිස් සිතීමේ සමාජයීය ප්‍රභවය පිළිබඳ කියැවෙන උද්ධෘත කිහිපයක් පරිවර්තනය කර දැක්වීමට කැමැත්තෙමි. හන්ගේරියාවේ උපන් යුදෙව් ජාතික කාල් මෑන්හයිම් ඥානය පිළිබඳ සමාජවිද්‍යාවේ වර්ධනයට දැඩි බලපෑමක් ඇති කළ සමාජ විද්‍යාඥයෙකි. ‘අයිඩියලොජි ඇන්ඩ් යුටෝපියා’ (1936) ලිවීමදී මෑන්හයිම්ගේ අරමුණ වූයේ "පොදු ජීවිතය තුළ සහ දේශපාලනය තුළ සාමූහික ක්‍රියාකාරීත්වයේ මෙවලමක්" වශයෙන් "සිතීම" ක්‍රියාකාරී වන ආකාරය විමර්ශනය කිරීමයි.

  • "ඥානය පිළිබඳ සමාජවිද්‍යාවේ මූලික තර්කය වන්නේ සමාජයීය ප්‍රභවයන් නොපැහැදිලිව සහ සැඟවී පවතින තාක්කල්, නිවැරදිව තේරුම් ගත නොහැකි, සිතීමේ ක්‍රම තිබෙන බවය" (පි. 2).
  • "සිතීමේ හැකියාව ඇත්තේ පුද්ගලයාට පමණක් බව ඇත්තෙන්ම සත්‍යයකි. පුද්ගලයන්ගේ ඔළුවලට උඩින් හා ඔවුන් වෙනුවෙන් සිතන්නාවූ සහ පුද්ගලයා හුදෙක් එහි අදහස් ප්‍රතිනිශ්පාදනය කරන්නාවූ සාමූහික මනස වැනි පාරභෞතික වස්තුවක් නැත. ඒ කෙසේ වෙතත්, මේ තුළින් පුද්ගලයකු පොළඹවන්නාවූ සියලු අදහස්වල සහ භාවයන්වල ප්‍රභවය ඔහු තුළම ඇතිවන බවත්, ඒවා නිවැරදිව අර්ථ දැක්විය හැක්කේ හුදෙක් ඔහුගේ ජීවන අත්දැකීම් මත පදනම් වී බවත් යන නිගමනයන්ට එළැඹීම වැරදිය" (පි. 2).
  • "එක් පුද්ගලයෙක් නිරීක්ෂණය කිරීමෙන් පමණක් භාෂාවක් තේරුම් ගැනීමට හෝ අත්පත් කර ගැනීමට ගන්නා උත්සහය වැරදි වන සේ ම (මන්ද යත්, ඔහු කථා කරන්නේ ඔහුට මාර්ගය සකසා දුන් සමකාලීනයන් සහ පූර්වකාලීනයන්ගේ භාෂාවක් මිස, ඔහුගේම භාෂාවක් නොවන නිසා), එක් පුද්ගලයකුගේ මනස තුළ යම් දෘෂ්ටියක සම්භවයට පමණක් අදාලව එම දෘෂ්ටියේ සමස්තය තේරුම් කිරීම වැරදිය" (පි. 2-3).
  • "ඔහු කථාකරන්නේ ඔහුගේ සමූහයේ භාෂාවයි; ඔහු සිතන්නේ ඔහුගේ සමූහය සිතන ආකාරයටයි" (පි.3).
  • "ඔහුට ඔහුගේ ප්‍රයෝජනය සඳහා සොයාගත හැක්කේ සමහර වචන සහ ඒවායෙහි අරුත් පමණකි. මේවා අවට ලෝකය වෙත එළැඹීමට ඇති ප්‍රවේශ මාර්ග විශාල වශයෙන් නිර්ණය කරනවා පමණක් නොව, මෙතෙක් දුරට යම් යම් දේවල් සමූහයට හෝ යම් පුද්ගලයකුට ඉන්ද්‍රියගෝචර වී ඇත්තේ, එයට ළඟා විය හැකි වී ඇත්තේ කුමන කෝණයන්ගෙන්ද සහ ක්‍රියාවේ කුමන සංදර්භයන් තුළද යන්නද ඒත් සමඟම පෙන්වා දෙයි" (පි.3).
  • "ඥානය පිළිබඳ සමාජවිද්‍යාව උත්සහ කරන්නේ පුද්ගලික වශයෙන් වෙනස් වූ සිතීම් හුදෙක් ඉතා සෙමින් සහ ක්‍රමිකව මතුවන්නාවූ, ඓතිහාසික- සමාජයීය තත්ත්වයක සංයුක්ත වාතවරණයක් තුළ සිතීම තේරුම් ගැනීමටයි. මේ අනුව, සිතන්නේ සාමාන්‍ය වශයෙන් මිනිසුන් නොව, සිතීම සිදුකරන්නේ හුදෙකලා වුණු පුද්ගලයින් ද නොව, සිතීම සිදුකරන්නේ යම් නිශ්චිත අවස්ථාවන්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා තම සාමූහික තත්ත්වය පිලිබිඹු කරන්නාවූ නිමක් නැති ප්‍රතිචාර මාලාවක් තුළින් සිතීමේ යම් විලාශයක් ගොඩනඟා ගෙන ඇති යම් සමූහයක මිනිසුන්ය" (පි. 3).

clip_image004

  • "වඩා නිවැරදිව කිවහොත්, එක් පුද්ගලයෙක් සිතනවා යැයි කීම වැරදිය. යම් පුද්ගලයෙකු ඔහුට පෙර අන් අය විසින් සිතා ඇති දේ තව දුරට සිතීම සඳහා සහභාගී වෙනවා යැයි කීම වඩා නිවැරදිය. ඔහු යම් අවස්ථාවකට ඔබින සිතීමේ රටාවන් සමඟ යම් උරුම වූ අවස්ථාවකට මුහුණ දෙන අතර ඔහු උරුමයෙන් ලද ප්‍රතිචාර විධි මත විස්තාරණය කිරීමට උත්සහ කරයි, එසේත් නැතිනම්, සිය අවස්ථාවේ වෙනස්වීම් නිසා උද්ගත වී ඇති අළුත් අභියෝගවලට වඩා උචිත ලෙස මුහුණ දීම සඳහා වෙනත් ප්‍රතිචාර ආදේශ කිරීමට උත්සහ කරයි. මේ අනුව සෑම පුද්ගලයකුම යම් සමාජයක් තුළ හැඳී වැඩීම හේතුවෙන් දෙආකාරයකින් පූර්වනිර්ණයකට පාත්‍ර වී ඇත: එක් අතකින් ඔහුට හමුවන්නේ කලින් සකස් කරන ලද අවස්ථාවන් ය, අනෙක් අතට ඔහුට එම අවස්ථාව තුළ කලින් සකසන ලද සිතීමේ සහ ක්‍රියා කිරීමේ රටාවන් ද හමු වේ" (පි. 3).
  • "සමූහයක ජීවත් වන මිනිසුන් හුදෙක් වෙන් වූ පුද්ගලයන් ලෙස භෞතික වශයෙන් පවතිනවා පමණක් නොවේ. එමෙන්ම ඔවුන් අවලෝකනය කරන්නාවූ මනසක් වැනි යමක වියුක්ත මට්ටම් තුළින් ලෝකයේ වස්තූන් හා නොගැටෙන්නා සේම, ඔවුන් එය කරන්නේ විශේෂයෙන් හුදෙකලා වුණු ජීවීන් වශයෙන් ද නොවේ. ඊට පරස්පරව, මිනිස්සු නන් අයුරින් සංවිධානය වූ සමූහ තුළ එකිනෙකා සමඟ සහ එකිනෙකාට විරුද්ධව කටයුතු කරන අතරම, එකිනෙකා සමඟ සහ එකිනෙකාට විරුද්ධව සිතීම ද සිදු කරති. සමූහවලට බැඳී පවතින මෙම පුද්ගලයෝ තමන් අදාල වන සමූහවල ලක්ෂණවලට සහ තත්ත්වයන්ට අනුකූල වන පරිදි අවට ලෝකයේ ස්වභාව ධර්මය සහ සමාජය වෙනස් කිරීමට හෝ යම් තත්ත්වයක පවත්වා ගැනීමට හෝ උත්සුක වෙති. මෙම සාමූහික ක්‍රියාවලිය තුළ වෙනස් කිරීමට හෝ යමක් ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට ඇති අභිමතයේ මෙහෙය වීම, ඔවුන්ගේ ප්‍රශ්න, ඔවුන්ගේ සංකල්ප, සහ ඔවුන්ගේ සිතීමේ විධි උපදවන්නාවූ මෙහෙයුම් සාධකය සම්පාදනය කරයි" (පි.3-4).