අන්තර්ක්‍රියාව සම්බන්ධ සමාජ නීති

චමත්කා දේවසිරි

(පහත දැක්වෙන්නේ ඇන්තනි ගිඩ්න්ස්ගේ (2006) ‘සෝශිඔලජි’ කෘතියේ ‘සෝශල් ඉන්ට‍රැක්ශ්න් ඇන්ඩ් එව්රිඩේ ලයිෆ්’ පරිච්ඡේදයේ අන්තර්ගත මානවංශක්‍රමවේදය පිළිබඳව දැක්වෙන තොරතුරු කිහිපයක පරිවර්තනයකි.)

අප පුරුද්දක් වශයෙන් අපේ හැසිරීම්වලදී සහ අන් අයගේ හැසිරීම් තේරුම් ගැනීමේදී නිර්වාචික සංඥා උපයෝගී කර ගන්නා නමුත්, අපගේ බොහෝ අන්තර්ක්‍රියා, අන් අය සමඟ කෙරෙන අවිධිමත් සාකච්ඡා තුළ හුවමාරු වන වාචික සංඥාවලින් සිදු කෙරේ. සමාජ ජීවිතයට භාෂාව මූලික වන බව සමාජවිද්‍යාඥයින් සැමවිටම පිළිගන්නා කරුණකි. කෙසේ වෙතත්, මෑතකදී මිනිසුන්ගේ එදිනෙදා සාමාන්‍ය සන්දර්භයන් තුළදී භාෂා භාවිතය ගැන විශේෂයෙන් සැලකිලිමත් වන එළඹුමක් වර්ධනය වී ඇත.

මානවංශක්‍රමවේදය යනු මිනිසුන් අන් අය කරන, විශේෂයෙන් කියන, දේවල්වලට අර්ථයක් දීමට භාවිතා කරන මානවංශ ක්‍රම- සාමාන්‍ය, ජන ක්‍රම- පිළිබඳ අධ්‍යනයයි. මෙම පදය, අප පහත සාකච්ඡා කරන, හැරල්ඩ් ගා’‍ෆින්කල් විසින් එකතු කර හඳුන්වා දෙන ලද්දකි. අපි සියල්ලෝම, සචේතනික අවධානයකින් තොරව මෙම ක්‍රම සාමාන්‍යයෙන් භාවිතා කරන්නමු. බොහෝවිට අපට සාකච්ඡාවකදී කියැවෙන දේ තේරුම් ගත හැකිවන්නේ එය කියැවෙන සමාජ සන්දර්භය අප දන්නේ නම් පමණි. මෙය ඒ ඒ වචන තුළ අන්තර්ගත වී නැති විය හැක. උදාහරණයක් හැටියට මේ සාකච්ඡාව ගමු (හෙරිටේජ් 1985):

A: මට අවුරුදු දහහතරක පුතෙක් ඉන්නවා.

B: ආ, ඒක ප්‍රශ්නයක් නෙවේ.

A: මට බල්ලෙකුත් ඉන්නවා.

B: ආ.. කනගා‍ටුයි ඒ ගැන.

ඔබ සිතන ආකාරයට කුමක්ද මෙහිදී සිදුවන්නේ? මේ දෙදෙනා අතර පවතින සම්බන්ධතාවය කුමක්ද? ඔබට මේ සාකච්ඡාව ගෙවල් හිමියකු සහ ගෙයක් කුලියට ගන්න අපේක්ෂා කරන අයෙකු අතර සිදුවන සාකච්ඡාවක් යැයි කීවොත්? එවිට මෙම සාකච්ඡාව ඔබට තේරුම් ගත හැක්කක් වනු ඇත: සමහර ගෙවල් හිමියෝ දරුවන් සිටින අයට ගෙවල් දෙන නමුත් සුරතල් සතුන් ඇති කරන අයට ගෙවල් දීමට මැලි වෙති. අප මෙම සමාජ සන්දර්භය නොදන්නේ නම්, Bගේ ප්‍රතිචාර Aගේ කියමන්වලට කිසිඳු සම්බන්ධයක් නැතැයි සිතනු ඇත. අර්ථයේ කොටසක් වචනවල ගැබ් වී ඇත. කොටසක් සමාජ සන්දර්භය තුළින් අර්ථය පිළිබිඹු වන ආකාරය තුළ ගැබ් වී ඇත.

සම්මත කරගත් අර්ථ

එදිනෙදා සාමාන්‍ය කතාබහේ කිසිඳු වැදගත්කමක් නැති කථන ස්වරූප තුළින් පවා කථිකයන් විසින් සංකීර්ණ සහ සම්මත යැයි අනුමාන කෙරෙන ඥානය ගෙන හැර දැක්වේ. ඇත්ත වශයෙන් කියතොත්, අපගේ එදිනෙදා කතාබහ පවා ඉතා සංකීර්ණයි. මෙම හේතුව නිසා මිනිසකු සමඟ බොහෝ වේලාවක් දක්ෂ ලෙස සාකච්ඡාවේ යෙදෙන්නට, දැනට පවතින දියුණුම සහ නවීනතම පරිගණක පවා සකස් කළ නොහැකි වී ඇත. එදිනෙදා කතාබහේදී භාවිතා වන වචනවලට සෑමවිටම නිශ්චිත අර්ථ නැත. අපි අපට කීමට අවශ්‍ය දෙය, ඊට පසුබිම් වන, වාචිකව ප්‍රකාශ නොවන උපකල්පන තුළින් ‘සකස් කර’ ගන්නෙමු. මරියා ‘ඊයේ ඔයා මොනවද කළේ?’ කියා ටොම්ගෙන් ඇසුවොත්, එම ප්‍රශ්නයේ වචන තුළින් ඇඟවෙන නිශ්චිත පිළිතුරක් නැත. දවසක් කියන්නේ දිග කාලයක්. එමනිසා, ටොම්ට පහත ආකාරයට ප්‍රතිචාර දැක්වීම තර්කානුකූල විය හැක. ‘මං ඉතිං, 7.16ට ඇහැරුණා, 7.18ට මං ඇ‍ඳෙන් බැස්සා, නාන කාමරයට ගිහිං මං දත් මදින්න පටන් ගත්තා. 7.19ට මං වතුර මල විවෘත කළා…’ එනමුත් මෙම ප්‍රශ්නය තුළින් මරියා බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ ප්‍රතිචාරයක් ද කියා, ටොම් සහ මරියාට අනුව මොන මොන ක්‍රියාකාරකම් මේ ප්‍රශ්නයට අදාළ ද කියා, සහ ටොම් සතියේ එක් නිශ්චිත දිනයකදී සාමාන්‍යයෙන් කරනා දේවල් මොනවාද කියා අපි තේරුම් ගන්නෙමු.

ගා’‍ෆින්කල්ගේ අත්හදා බැලීම්

clip_image001

අප අපගේ සාමාන්‍ය සාකච්ඡා සංවිධානය කරගන්නා ‘පසුබිම් අපේක්ෂාවන්’ හැරල්ඩ් ගා’‍ෆින්කල් (1963) තම ශිෂ්‍යයන් සමඟ සිදුකළ අධ්‍යනයන් තුළින් ඉස්මතු කර දක්වා ඇත. මෙම ශිෂ්‍යයන්ට මිත්‍රයෙකු හෝ ඥාතියකු සමඟ සාකච්ඡාවක යෙදෙමින්, එහිදී කියැවෙන සාමාන්‍ය ප්‍රතිචාර සහ කියමන් තුළින් මතුවන අර්ථ නිශ්චිත කර ගැනීමට ක්‍රියාකාරී ලෙස යොමු වීමට උපදෙස් දෙන ලදී. අයෙකු ‘සුභ දවසක් වේවා’ යැයි කිවහොත්, ‘මොන ආකාරයේ සුභබවක් ද ඔබ අදහස් කරන්නේ?’, හෝ ‘ඔබ දවසේ කුමන කොටස ගැන ද කතා කරන්නේ?’ යන ආදී වශයෙන් ප්‍රතිචාර දක්වන්න යැයි මෙම ශිෂ්‍යයන්ට පවසා ඇත. මේ ආකාරයට සිදුවුණු එක් දෙබසක් පහත දැක්වේ. (S යනු මිත්‍රයෙකි, E යනු ශිෂ්‍යයා ය.)

S: ඔයාට කොහොමද?

E: ඒ කියන්නේ? මගේ සෞඛ්‍ය ද, මගේ මූල්‍යමය තත්ත්වය ද, මගේ පාසල් වැඩ ද, මගේ මානසික තත්ත්වය ද, මගේ..?

S: [මුහුණ රතු වී, කර කියාගත දෙයක් නැතිව]: මේ බලන්න! මං ආචාරශීලී වෙන්න එහෙම ඇහුවෙ. ඇත්තම කියනව නං, ඔයාට කොහොමද කියලා දැනගන්න මට කිසි උවමනාවක් නෑ.

මෙලෙස කථනයේ සුළු සම්මුතීන් අනුගමනය නොකළ විට මිනිසුන් මෙතරම් කලබල වන්නේ ඇයි? මෙයට පිළිතුර වන්නේ, අප පවසන දේවල් සහ ඒවා පවසන්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන්, ප්‍රකාශයට පත් නොකෙරෙන, අප සාමූහිකව පිළිගන්නා, සංස්කෘතික උපකල්පනයන් මත අපගේ එදිනෙදා සමාජ ජීවිතයේ ස්ථාවරත්වය සහ අර්ථවත්භාවය රඳා පැවතීමයි. අපට මේවා දෙන ලද දේවල් වශයෙන් භාරගත නොහැකි නම්, අර්ථවත් සන්නිවේදනය කළ නොහැක්කක් වනු ඇත. ඕනෑම ප්‍රශ්නයකට හෝ සාකච්ඡාවක කොටසකට හෝ අනතුරුව, ගා’‍ෆින්කල්ගේ පර්යේෂණයකදී මෙන්, විශාල ‘ගවේෂණ ක්‍රියාවලියක්’ ඇති වුණ හොත්, අන්තර්ක්‍රියාව කඩා වැටෙනු ඇත. මේ ආකාරයට මුලදී කථනයේ නොවැදගත් සම්මුතීන් වශයෙන් හැඟුණු දේ සමාජ ජීවිතයේ නිර්මාණයට මූලික වන බව අපට පෙනේ. එම නිසා මේවා උල්ලංඝනය කිරීම බරපතළ කරුණකි. එදිනෙදා ජීවිතයේ දී, මිනිස්සු සමහර අවස්ථාවන්හිදී උවමනාවෙන් ප්‍රකාශයට පත් නොකෙරෙන දැනුම පිළිබඳ නොදැනුවත්බවක් මවාපාති. අන් අයට බලාපොරොත්තු නොවූ ආකාරයකට විරෝධය පෑමට, අන් අය විහිළුවට ලක් කිරීමට, අන් අය අපහසුතාවයට පත් කිරීමට හෝ කියන ලද දෙයෙහි වෙනත් අර්ථ කෙරෙහි අවධානය යොමු කරවීමට මිනිස්සු මේ ආකාරයට ක්‍රියා කරති. මවක සහ නව යෞවන වියෙහි පසුවන දරුවකු අතර ඇති වන මෙම සාකච්ඡාව සලකා බලන්න.

මව: ඔයා කොහෙද යන්නෙ?

දරුවා: එළියට.

මව: මොනවද කරන්න හදන්නේ?

දරුවා: මුකුත් නෑ.

මෙම ගැටවරයාගේ ප්‍රතිචාර ගා’‍ෆින්කල්ගේ පර්යේෂණවට සම්පූර්ණයෙන් විරුද්ධ ප්‍රතිචාර වේ. ගා’‍ෆින්කල්ගේ පර්යේෂණයක දී මෙන්, සාමාන්‍යයෙන් නොකෙරෙන ආකාරයට, ප්‍රශ්න කිරීමෙන් බැහැර වන මෙම ගැටවරයා සුදුසු ප්‍රතිචාර දැක්වීම පවා ප්‍රතික්ෂේප කරයි. ඔහුගේ ප්‍රතිචාරවලින් ඉඳුරා ප්‍රකාශ වන්නේ, ‘තමන්ගේ වැඩක් බලාගන්න!’ යන්නයි.

මෙම පළමුවන ප්‍රශ්නයට වෙනත් සන්දර්භයක් තුළ වෙනත් පුද්ගලයකුගෙන් වෙනස් ප්‍රතිචාරයක් ලැබිය හැක:

A: ඔයා කොහෙද යන්නෙ?

B: මං මේ වංගුව වටේට හිමින් යනවා.

B උවමනාවෙන් උපහසාත්මක ලෙස කනස්සල්ලක් ප්‍රකට කිරීමට Aගේ ප්‍රශ්නය වැරදියට අර්ථකථනය කරයි. කථනයේ ප්‍රකාශයට පත් නොවන උපකල්පනයන් උවමනාවෙන් වැරදියට තේරුම් ගැනීම මත හාස්‍යය සහ උපහාසය පෝෂණය වේ. මෙවැනි තත්ත්වයන් තුළ, මෙය සිනහව ඉපැදවීමට ගැනෙනා උත්සහයක් බව අදාළ පාර්ශ්වයන් දන්නේ නම්, අවදානම් සහගතබවක් නැත.

Post a comment or leave a trackback: Trackback URL.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: