Monthly Archives: May 2011

විශ්වවිද්‍යාල සිසුන්ට හමුදා කඳවුරු තුළ නායකත්ව පුහුණුව ලබා දීම

ස්මෘතියේ වේල්ල ඡායාරූ තාක්ෂණය මඟින් විනාශ කරයිද? -ක්‍රැකවර්ට අනුව කුඩා විශ්ලේෂණයක්

උන්නතී සමරවීරසිග්‍ෆ්‍රීඩ් ක්‍රැකවර්

චිත්‍රපට, ඡායාරූ තාක්ෂණය, තර්කනය, නාගරික අවකාශයේ සැකැස්ම වැනි දේ විශ්ලේෂණය කිරීමට නව න්‍යායාත්මක ක්‍රමවේදයක් ගොඩ නැඟූ සිග්‍ෆ්‍රීඩ් ක්‍රැකවර් සිනමාව විශ්ලේෂණය කළ පළමු චින්තකයා විය. ඡායාරූප තාක්ෂණය පිළිබඳ සාකච්ඡා කරන විට ස්මෘතිය සමඟ සම්බන්ධ කොට ඒ පිළිබඳ ඔහු විසින් ඉදිරිපත් කොට ඇති අදහස් වැදගත් වනුයේ ඡායාරූ පිළිබඳ වෙනස්ම දුෂ්ටියකින් එදිනෙදා පුද්ගල දිවියේ ස්මෘතියට සම්බන්ධ කොට ඔහු විසින් සාකච්ඡා කොට ඇති හෙයිනි.

ඡායාරූප සහ ස්මෘතිය පිළිබඳ සන්සන්දනාත්මක විග්‍රහයක් ගෙන එන ක්‍රැකවර් පෙන්වා දෙනුයේ ඡායාරූ යම් කාල වකවානුවකට අනිවාර්යෙන් අයත් වන අතර එකී කාල සන්තතිය පිළිබඳ සහ එකී යුගයට අයත් භෞතික සමාජ වටපිටාව පිළිබඳ ඉතා නිවැරදි තොරතුරු සමූහයක් ඉන් ලබා දෙන බව වේ. උදාහරණයක් වශයෙන් අපගේ ළමා කාලයේ ඡායාරූපයක් ගත් විට, ඒ යුගයේ ඇඳුම්-පැළදුම්, හිසකෙස් විලාසිතා, පසුබිමේ ඇති දේ අනුව භාවිත කරන ලද භාණ්ඩයන්ගේ ස්වභාවය,  ආදී වශයෙන් එකල පැවති භෞතික තත්ත්වය පිළිබඳ වඩා පුළුල් අවබෝධයක් ලබා ගත හැකි අතර එම ඡායාරූපයේ වර්ණ සංයෝජනය, ආලෝක භාවිතය, සැලසුම්කරණය සහ අවසාන නිමාවන් ආශ්‍රිතව එම යුගයේ තාක්ෂණික තත්ත්වයේ සැබෑ ස්වරූපය වටහා ගැනීමට ද අපට හැකියාව ලැබේ. අපගේ ළමා කාලයේ ඡායාරූපයක් සහ අපගේ දෙමාපියන්ගේ කුඩා කාලයේ ඡායාරුවක් සන්සන්දනය කළ කල්හි මෙම උදාහරණය වඩාත් පැහැදිලි වනු ඇත. නමුත් මානව ස්මෘතිය යන්න මීට වඩා වෙනස් වන බව පෙන්වා දෙන ක්‍රැකවර්,  කෙටි කාලීන සහ  දිගු කාලීන වශයෙන් මනෝ විද්‍යාඥයන් හඳුන්වන මෙම පුද්ගල මතකය තුළ ගබඩා වෙනුයේ එක් එක් පුද්ගලයාට වඩා වැදගත් අවස්ථා සහ සිදුවීම් පමණක් බව ප්‍රකාශ කරයි. එනම්, ස්මෘතිය මඟින් යම් සිදුවීමක් සහ අදාළ සියල්ලම සටහන් කර නොගන්නා අතර එහෙයින්ම පසුව ඒ පිළිබඳ පෘථුල විස්තරයක් ලබා දීමට ස්මෘතියට අපහසු වෙයි. එනමුත් ඊට සාපේක්ෂව ඡායාරුවක් තුළ පුද්ගල මුහුණේ හැඟීම්, අඩුපාඩුකම්, ආදී සියල්ල අන්තර්ගත වන නිසා යම් සිදුවීමක් පිළිබඳව ඡායාරූපයක් තුළින් ලබා ගත හැකි තොරතුරුවල ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය වැඩි බව ක්‍රැකවර්ගේ අදහස වේ. එනමුඳු ඉන් යථාව නිරූපණයක් නොව සිදුවන්නේ යමක් නිරූපණය වීමක් පමණක් යැයි බෝඩ්‍රියාඩ් ගෙන එන අදහස මෙහිදී අපට වැදගත් වනුයේ, ඉතාම දුකින් සිටින පුද්ගලයෙකු පවා සිනාමුසුව ඡායාරුවකට පෙනී සිටිය හැකි නිසාවෙනි. එනම් ක්‍රැකවර් පෙන්වා දෙන පරිදි එමඟින් වඩා විශ්වසනීය සහ ගුණාත්මක තොරතුරු ලබා දිය හැකි වන නමුත් ඉන් යථාව නිරූපණය වීමක් සිදු වෙන බව අපට පැවසිය හැකි නොවේ.

කෙසේවුවත්, විශ්ව විද්‍යාලයේ එක් වසරක සමූහ ඡායාරූපයක් උදාහරණ වශයෙන් ගත් විට ක්‍රැකවර් මතු කරන තර්කය අපට මනාව පැහැදිලි වේ. එනම්, අපගේ සමූහ ඡායාරුව තුළ එම වසරේ එකට ඉගෙනුම ලැබූ සියලුම විද්‍යාර්ථීන් අඩංගු වන නමුත් ඉන් අපගේ ස්මෘතියේ ‍රැ‍ඳෙන්නේ අප සමඟ අන්තර්ක්‍රියා කරමින්, එකට ‍රැ‍ඳෙමින් , අප එකිනෙකාට වැදගත් අය යැයි තනි තනි පුද්ගලයාට හැ‍ඟෙන තැනැත්තන් පමණි. එනම් ඡායාරුවක් මඟින් කාලය සහ අවකාශය වඩා විශ්වසනීයව නිරූපණය වන නමුත් පුද්ගල ස්මෘතියේ ‍රැ‍ඳෙන්නේ නිරන්තරයෙන්ම එක් එක් තනි පුද්ගලයාට වැදගත් දැ පමණක් වේ. මෙහිදී සමහර වැදගත් දේ කාලය සහ අවකාශමය සන්තතියට පමණක් සීමා කළ නොහැකි නිසා ඡායාරුව සහ ස්මෘතිය අතර වෙනස වටහා ගැනීම වැදගත් යැයි ක්‍රැකවර් මතු කරන අදහස ඉතා වැදගත් වේ. එනම්, උදාහරණයක් මඟින් පැහැදිලි කරන්නේ නම්, පෙර සඳහන් කළ සමූහ ඡායාරූපයේම අපගේ ප්‍රියතම ආචාර්යවරයෙකු හෝ සමීපතම මිතුරෙකු හෝ අන්තර්ගත නොවෙන, අදාළ පුද්ගලයා එහි නොමැති වූ පමණින් ඔහු හෝ ඇයට අදාළ මතකයන් අපගේ මතකයෙන් ඈත් නොවේ. මේ අනුව ඡායාරුවකට වඩා පුද්ගල ස්මෘතිය තුළ වැදගත් වන්නේ අදාළ පුද්ගලයාගේ අභිප්‍රේරණ අනුව අදාළ සන්සිද්ධි පමණක් වන බව පැහැදිලිය. නමුත් මෙහිදී ක්‍රැකවර් මතු කරනුයේ, ස්මෘතිය තුළ ගබඩා වී ඇති දෑ විටෙක ක්ෂණිකව  අනාවරණයට අපහසු වන අතර  ඊට නිදහස් කරන ලද විඥානයක් අවශ්‍ය වන බවයි.

මෙහිදී ඓයිතිහාසිකවාදය සහ ඡායාරූප ශිල්පය සම්බන්ධ කරන ඔහු ඒතිහාසිකවාදය තුළ ඉතිහාසය හා සම්බන්ධ සෑම දෙයකම අන්තර්ගත වන්නාක් මෙන් ඡායාරුවකටත් අදාළ අවස්ථාව හා සම්බන්ධ සියල්ල හසුවෙන අතර ඒ සියල්ලම නිරූපණය වෙයි. එනමුත් මීට සාපේක්ෂව පුද්ගල ස්මෘතියට වැදගත් වන්නේ තමා හා බැඳුණු සමාජ සබඳතා, සිදුවීම් පමණි. ක්‍රැකවර් තර්ක කරන පරිදි සත්‍ය හෝ යථාර්ථය ගොඩ නැඟීම යන්නෙහි අර්ථය ඒ හා සම්බන්ධ සියල්ලම ඒකරාශී කොට දැක්වීමම නොවේ. මේ අනුව ඔහු තැත් දරන්නේ ඡායාරූ මඟින් පුද්ගල ස්මෘතිය අභිබවා යෑමට දරණ සමාජ තත්ත්වය විවේචනය කිරීමට වේ. එහිදී ඡායාරූ ගැන්ම මඟින් පුද්ගල ස්මෘතියේ වේල්ල විනාශ කරන බවට ඔහු අදහසක් ගෙන එයි. නමුත් බ්‍රෙෂ්ට් වැනි චින්තකයන් තර්ක කරනුයේ පුද්ගල ස්මෘතිය සඳහා ඡායාරූ අවශ්‍ය බවට වේ. කෙසේ හෝ ක්‍රැකවර් ගෙන එන තර්කය එදා ඔහු ජීවත් වුණු සමාජයට මෙන්ම නූතන සමාජයටත් එක ලෙස සමාන වන තත්ත්වයක් යැයි අපට තර්ක කළ හැක්කේ වත්මන් මිනිසා ද නිරන්තරයෙන්ම අදාළ අවස්ථාව රසවිඳිමින් , එකී අවස්ථාව ස්වකීය මතකයේ තැන්පත් කර ගන්නවාට වඩා, එය ඡායාරුවකට කැටි කොට ගෙන තමා සන්තකයේ මතකයක් වශයෙන් ‍රැස් කර ගන්නට වැඩි කැමැත්තක් දක්වන බව පෙනී යන හෙයිනි. මේ නිසාම ක්‍රැකවර් දකින පරිදි ස්වකීය පුද්ගල ස්මෘතියට වඩා ඡායාරූ තාක්ෂණයට වැඩි වැදගත්කමක් ලබා දෙන සමාජයක් බිහි වී ඇති බව පැහැදිලි වෙන්නේ, ඡායාරූ මඟින් අපගේ ස්මෘතිය ආක්‍රමණය කොට ඇති බව ප්‍රකට කරමිනි.

event-photography