Monthly Archives: July 2011

නගරය පිළිබඳ ඉදිරිපත් වී ඇති විවිධ න්‍යායන් විවේචනාත්මකව සාකච්ඡා කිරීම

එම්.ජී.එල්.එම්. පේ‍්‍රමරත්න

Colombo-2

මානව සමාජය පිළිබඳ සමාජ විද්‍යාත්මකව අවබෝධ කරගැනීමේදී මිනිසා ජීවත්වන සමාජ අවකාශය පිළිබඳව අවබෝධ කරගැනීම වැදගත් වේ. එවැනි ආකාරයට මිනිසා ජීවත් වන ප‍්‍රධාන සමාජ අවකාශයක් ලෙස ‘නගරය’ දැක්විය හැකිය. නගරය යන සංකල්පය නිර්වචනය කිරීමේදී ලෝකයේ විවිධ රටවල් විවිධ සාධක කෙරෙහි අවධානය යොමු කරන බව දැකිය හැකිය. එහිදී නාගරික ප‍්‍රදේශයක සිටින ජන සංඛ්‍යාවත්, පරිපාලන කටයුතු ඒකරාශීවීමත්, නිවාස සංඛ්‍යාවත්, කෘෂි කාර්මික නොවන ‍රැකියාවල නිරතව සිටින පිරිමින් ප‍්‍රමාණය හෝ ආර්ථික කටයුතු යනාදීය ඇතුළත්ව තවත් විවිධ කරුණු මත නාගරික ප‍්‍රදේශයන් පිළිබඳව නිර්වචනය කිරීම සිදු කරනු ලැබේ (මානවඩු හා ලියනගේ 2008: 16 – 18). බුෂානා (1994) දක්වන්නේ නගරයක් යනු “කෘෂි කාර්මික නොවන ‍රැකියාවල යෙදී සිටින, කුඩා භූගෝලීය ප‍්‍රදේශයකට මිනිසුන් කේන්ද්‍රගත වී පදිංචිව සිටින ප‍්‍රදේශයක්” බවයි. ඉහත නිර්වචනයන් දෙස බලනවිට දැකිය හැක්කේ නගරයක් යන්න විවිධ වූ සාධක පදනම් කරගෙන නිර්වචනය කර ඇති අතර, නගරය විවිධ සමාජ අන්තර් කි‍්‍රයාවන් සිදුවන සංකීර්ණ සමාජ අවකාශයක් බවයි.

ඉහත ආකාරයට නිර්වචනය කරන ලද නාගරික සමාජ අවකාශය වෙත ජනගහනය සැලකිය යුතු ප‍්‍රමාණයකින් ඒකරාශීවීම සිදුවන බව දැකිය හැකිය. එක්සත් ජාතීන්ගේ සංගමය (2002) දක්වා ඇත්තේ දැනට ලෝකයේ ජීවත්වන මුළු ජනගහනයෙන් 48% ක් නාගරිය යැයි සම්මත ප‍්‍රදේශවල ජීවත්වන බවයි (උපුටා ගත්තේ ද සිල්වාගෙනි 2004: 190). ලෝකයේ නාගරික ජනගහනයේ ප‍්‍රතිශතය 1950 වන විට 30% ක් වූ අතර, එය 2000 වන විට 47% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අනාගත ප‍්‍රක්ෂේපණ වලට අනුව ලෝකයේ නාගරික ජනගහනයේ ප‍්‍රතිශතය 2030 වනවිට 60% ඉක්මවන තත්ත්වයක් පෙන්නුම් කෙරේ (ද සිල්වා 2004: 195). මෙම දත්ත අනුව බලනවිට පෙනීයන්නේ අනාගතයේදී සමස්ත ලෝක ජනගහනයෙන් භාගයකට අධික ජනසංඛ්‍යාවක් නාගරික ප‍්‍රදේශවල ජීවත්වීම සිදුවිය හැකි බවයි. එසේම වර්තමානයේදීද ජනගහනයෙන් භාගයකට ආසන්න ප‍්‍රතිශතයක් නාගරික සමාජ අවකාශය තුළ ජීවත්වන බව දැකිය හැකිය. නාගරික ජනගහනය පිළිබඳව ශ‍්‍රී ලංකාවේ පවතින තත්ත්වය විමසා බලනවිට දැකිය හැක්කේ ද ශ‍්‍රී ලංකාවේ ද නාගරික ජනගහනයේ වර්ධනයක් දැකිය හැකි බවයි. එක්සත් ජාතීන්ගේ සංගමය (2002) දක්වා ඇති ආකාරයට අනුව වසර 2000 දී ශ‍්‍රී ලංකාවේ නාගරික ජන ප‍්‍රතිශතය 22.8% ක් වන අතර, 2010 වර්ෂයේදී 26.4% දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ (උපුටා ගත්තේ ද සිල්වාගෙනි 2004: 190). මේ අනුව දැකිය හැක්කේ සමස්ත ලෝකයේම නාගරික ජනසංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් සිදු වී ඇති බවයි. එසේම ශ‍්‍රී ලංකාවේ ද එවැනිම ආකාරයට වර්ධනීය තත්ත්වයක් දැකිය හැකිය.

ඉහත දක්වා ඇති ආකාරයට නාගරික සමාජ අවකාශයක විශාල ජනසංඛ්‍යාවක් මෙන්ම විවිධ සමාජ අන්තර් ක‍්‍රියාවන්ගෙන් සමන්විත වූ සමාජ අවකාශයක් ගොඩනැඟී ඇති බව දැකිය හැකිය. මෙවැනි සංකීර්ණතාවයක් ඇති නාගරික සමාජ අවකාශය පිළිබඳව විවිධ සමාජ විද්‍යාඥයින් හා නාගරික සමාජ විද්‍යාඥයින් විසින් විවිධ වූ න්‍යාත්මක කරුණු හරහා විග‍්‍රහ කර ඇත. මෙම ලිපිය මගින් මූලික වශයෙන් සිදුකරනු ලබන්නේ එවැනි ආකාරයට නාගරික සමාජ අවකාශය පිළිබඳව ඉදිරිපත් වී ඇති විවිධ න්‍යායන් විවේචනාත්මකව සාකච්ඡුා කිරීමයි. එහිදී මෙම ලිපියේ ඉදිරි කොටස්වලින් නගරය පිළිබඳව ඉදිරිපත් වී ඇති සම්භාව්‍ය න්‍යායාත්මක පර්යාවලෝකය පිළිබඳව විවේචනාත්මකව සාකච්ඡුා කිරීමත්, නගරය පිළිබඳව ඉදිරිපත් වී ඇති චිකාගේ ගුරුකුලයේ න්‍යායාත්මක අදහස් පිළිබඳව විවේචනාත්මක විග‍්‍රහයක් හා නගරය පිළිබඳව ඉදිරිපත් වී ඇති නව වෙබර්වාදී හා නව මාක්ස්වාදී න්‍යායාත්මක පර්යාලෝකයන් පිළිබඳව විවේචනාත්මක ඉදිරිපත් කරනු ලැබේ. මෙම ලිපියේ අවසාන කොටසින් සමස්ත ලිපිය පිළිබඳව සමාලෝචනය ඉදිරිපත් කරනු ලැබේ.

ඉතිරියත් කියවන්න – නගරය පිළිබඳ ඉදිරිපත් වී ඇති විවිධ න්‍යායන් විවේචනාත්මකව සාකච්ඡා කිරීම