සිංහල බ්ලොග් නැමැති මාධ්‍ය ක්ෂේත්‍රය

උන්නතී සමරවීර
ධනංජ ඉල්ලගොල්ල
ක්‍රිෂාන් චින්තක
චමත්කා දේවසිරි
තමාරා නිශ්ශංක

මෙරටේ අන්තර්ජාලය භාවිතා කරන්නන් අතුරින් සිංහල බ්ලොග් අඩවි තම එදිනෙදා මාධ්‍ය භාවිතයේ අංගයක් කරගෙන ඇත්තේ කීයෙන් කීදෙනාද?

image

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා විශේෂවේදී උපාධිය සඳහා අධ්‍යයනය කරන්නට යෙදුනු ‘ජන මාධ්‍ය පිළිබඳ සමාජවිද්‍යාව’ නැමැති පාඨමාලාව සඳහා නිම කිරීමට තිබූ සමූහ ව්‍යාපෘතියකට තේමාව වශයෙන් අපි ‘සිංහල බ්ලොග් අඩවි’ නැමැති තේමාව ‍තෝරාගත්තේ, මෙරටේ විවිධ මාධ්‍යය ගැන කතා කරන විට සිංහල බ්ලොග් අඩවි වෙත සමාජයේ එතරම් අවධානයක් යොමු නොවන නිසාය. ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අඩු අවධානයක් යොමු වුවද, සිංහල බ්ලොග් අඩවි යනු සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින සන්නිවේදන මාධ්‍යයක් බව පෙනෙන්නට තිබීමත් මෙවැනි මාතෘකාවක් ‍තෝරාගැනීමට අපව යොමු කළ කරුණකි. පහත දැක්වෙන්නේ මීට මාස කිහිපයකට පෙර නිම කළ ඉහත කී සමූහ ව්‍යාපෘතියට යොදා ගත් තොරතුරුවලට අමතර කරුණු ද එකතු කරමින් සිංහල බ්ලොග් අවකාශය පිළිබඳ සැකසූ සටහනකි.

සිංහල බ්ලොග් අඩවි ගැන සාකච්ඡා කරන්නට මත්තෙන් පොදුවේ බ්ලොග් අඩවි යනු කුමක්දැයි හඳුනා ගනිමු. ‘බ්ලොග්’ (blog) යන ඉංග්‍රීසි වචනය ‘වෙබ්’ සහ ‘ලොග්’ (web+log) යන පද දෙක එකතු වීමෙන් සෑදී ඇත. ඒ අනුව, බ්ලොග් අඩවියක් යනු අන්තර්ජාලය තම අවකාශය කරගත් සටහන් මාලාවක්, එසේත් නැත්නම් සටහන් ගොනුවක් ලෙස සරලව හැඳින්විය හැක. බ්ලොග් අඩ්වියක් සාමාන්‍ය වෙබ් අඩවියකින් වෙනස් වන්නේ බ්ලොග් අඩවිවල පාඨකයින්ට තම අදහස් එහි සටහන් කළ හැකි නිසාය. බ්ලොග් අඩවියක් යාවත්කාල කිරීම ‘බ්ලොග්කරණය’ ලෙසත් එය පවත්වා ගෙන යන්නා ‘බ්ලෝග්කරුවකු’ ලෙසත් හැඳින්වේ. බ්ලොග් අඩවියක තොරතුරු සෑම විටම පාහේ කාලානුක්‍රමිකව දක්වන අතර වඩාත් මෑත කාලීන තොරතුරු වඩාත් කැපී පෙනෙන ලෙස බ්ලොග් අඩවියේ ඉහලින් ඉදිරිපත් කෙරේ. වර්තමානයේ පවතින ආකෘතියට අනුව බ්ලොග් අඩවි නිර්මාණය වීමට පටන් ගෙන ඇත්තේ වර්ෂ 1994 දී පමණය.

එනමුත් සිංහල බ්ලොග් අඩවිවල ආරම්භය සනි‍ටුහන් වන්නේ තරමක් මෑතකදී, එනම් වර්ෂ 2006 දී පමණය. සිංහල යුනිකේත ක්‍රමය (unicode) හඳුන්වාදීමෙන් පසුව අන්තර්ජාලයට ගැලපෙන මුහුණුවරකින් සිංහල අක්ෂර භාවිතා කිරීමේ පහසුව ඇති වීමත් සමඟ, සිංහල බ්ලොග් අඩවි නිර්මාණය වීමට පටන් ගැනුණි. ඒ අනුව, වර්තමානය වනවිට සිංහල බ්ලොග් අඩවි දහස් ගණනක් ක්‍රියාකාරීව පවතින බව අන්තර්ජාලයේ සැරිසරන්නකුට පෙනී යයි.

සිංහල බ්ලොග් කියවනය (Sinhala Blog Reader) යනු එවැනි සිංහල බ්ලොග් අඩවිවල ලිපි පාඨකයින් වෙත ගෙන හැර දක්වන වෙබ් අඩවියකි, නැතහොත් බ්ලොග් සින්ඩිකේටරයකි. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසඳය (Sinhala Bloggers’ Union) විසින් හඳුන්වා දී ඇති මෙම වෙබ් අඩවියේ ප්‍රධානතම කෘත්‍යය වන්නේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසඳයේ සාමාජිකත්වය ලබා ඇති සිංහල බ්ලොග් අඩවි වෙත පුළුල් පාඨක අවධානයක් ලබා දීමයි. ඊට අමතරව, සිංහල බ්ලොග් අඩවියක් ආරම්භ කරන ආකාරය සහ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම ද සිංහල බ්ලොග් කියවනයෙන් ඉ‍ටු කරන සේවාවකි. වර්ෂ 2008 දී ආරම්භ කර ඇති සිංහල බ්ලොග් කියවනයේ සාමජිකත්වය ලබා ඇති සිංහල බ්ලොග් සංඛ්‍යාව මේ වන විට 1100 ඉක්මවන අතර එම එක් එක් බ්ලොග් අඩවිවල නවතම ලිපි කාලානුරූපීව සිංහල බ්ලොග් කියවනයේ පළ කෙරේ. මෙම වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබාගෙන ඇති බ්ලොග් අඩවි ඒවාට ආවේනික වූ ක්ෂේත්‍ර අනුව, ආගමික, පුද්ගලික, පොඩ්කාස්ට්, විද්‍යා/තාක්ෂණ, විනෝදාස්වාද, සමාජයීය, සාහිත්‍ය/කලා, සහ දේශපාලන/පුවත් යන විවිධ අංශ යටතේ ගොනු කර ඇත. සිංහල බ්ලොග් කියවනයට අමතරව, ‘සිංඩිය’ සහ ‘ලාංකීය සිතුවිලි’ නමින් ක්‍රියාත්මකවන සිංහල බ්ලොග් සින්ඩිකේටර හරහා ද පාඨකයින්ට සිංහල බ්ලොග් ගණනාවකට පහසුවෙන් පිවිසිය හැක.

සිංහල බ්ලොග් අඩවිවල කතුවරුන් තම සැබෑ නම හෝ අනුවර්ත නාමයක් යොදාගනිමින් ද, නිර්නාමිකව ද ලිපි පළ කරති. තනි පුද්ගලයින් මෙන් ම පුද්ගලයින්ගේ එකතුවෙන් සෑදුනු සමූහ ද සිංහල බ්ලොග් අඩවි පවත්වාගෙන යන අතර, ඇතැම් කතුවරුන් තමන් කවුරුන්දැයි හඳුන්වා දීමට විස්තරයක් පළ කරති.

සිංහල බ්ලොග් අඩවි ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිංහලෙන් බ්ලොග් ලේකඛයින්ට සහ සිංහලෙන් කියවන පාඨකයින්ට තමන්ට සමීප මාතෘකා පිළිබඳ දැනුම, මතවාද සහ අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව උදා වී ඇත. ‘සිංහල බෞද්ධයා’ නම් බ්ලොග් අඩවියේ 2011 පෙබරවාරි මස 27වන දින පළවී ඇති ‘ජාතික ගීයට භික්ෂූන් වහන්සේ නැගිටීම සුදුසු ද?’ යන ලිපිය සහ ‘සයිබර් අවකාශයේ හෙළ හඬ’ බ්ලොග් අඩවිය 2011 ජනවාරි 31වන දින පළ කර ඇති ‘සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසය’ නම් ලිපිය උදාහරණ වශයෙන් දැක්විය හැක. බ්ලොග් අඩවි හරහා පාඨකයින්ට අදාල මාතෘකාව පිළිබඳව අදහස් හුවමාරු කරගත හැකි නිසා ඇතැම් දේශීය දේශපාලනික පුවත් පිළිබඳ උණුසුම් සංවාද ගොඩනැ‍ඟෙන අවස්ථා ද පවතී.

පාඨකයින් නිර්නාමිකව හෝ අනුවර්ත නාමයකින් තම අදහස් සටහන් කිරීම සුලභව දක්නට ලැබේ. එමඟින් තම අනන්‍යතාව හෙළි නොකරමින් තමන්ට අවශ්‍ය දී කීමට පාඨකයිට අවස්ථාව ඇත. පෙර පළ වූ ලිපි පහසුවෙන් නැවත නැවත කියවීමේ අවස්ථාව ද බ්ලොග් අඩවිවල පාඨකයින්ට හිමිවේ. මෙය රූපවාහිනී, ගුවන්විදුලි සහ පුවත්පත් වැනි වෙනත් මාධ්‍යයන් සමඟ සන්සන්දනය කළ විට බ්ලොග් භාවිතා කරන්නන්ට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් වශයෙන් සැලකිය හැක.

තම බ්ලොග් අඩවියට පැමිණි පාඨකයින් ගණන සහ එම පාඨකයින් කුමන රටවලට අයත් දැයි ඇතැම් බ්ලොග් අඩවිවල දිස්වේ. එවැනි සිංහල බ්ලොග් අඩවිවලින් පෙනෙන්නේ ඒවාට වැඩි වශයෙන් ම පිවිසෙන්නේ ශ්‍රී ලංකාවේ සිටින පාඨකයින් බවයි. ඊට අමතරව බහුලවම සිටින්නේ ඇමරිකාවේ, ඉතාලියේ, බ්‍රිතාන්‍යයේ, ඕස්ට්‍රේලියාවේ සහ මැද පෙරදිග සිට නරඹන පාඨකයින්ය.

කෙසේ නමුත් සිංහල බ්ලොග් අඩවිවලට තවමත් සිටින්නේ සීමිත ප්‍රේක්ෂකයින් පිරිසක් බව කිව හැකිය. ශ්‍රී ලංකාව තුළ යම්තාක් දුරකට සීමිත අන්තර්ජාල භාවිතයක් තිබීම මීට හේතුවී ඇති එක් කරුණක් බව හඳුනාගත හැක. ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2009 දී සිදු කර ඇති සමීක්ෂණයකට අනුව, වර්ෂ 2009 වනවිට ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිත මට්ටමින් අන්තර්ජාලය භාවිතය සිදුවී ඇත්තේ ජනගහනයෙන් 13.1% අතරය. ග්‍රාමීය ප්‍රජාවට (11.1%) වඩා නාගරික ප්‍රජාව (23.9%) අතර අන්තර්ජාල භාවිතය ඉහලින් සිදුවන බව ද එම සමීක්ෂණ වාර්තාවට අනුව පිළිබිඹු වේ. දිවයිනේ ඉහළින් ම අන්තර්ජාල භාවිතය සිදු වන්නේ බස්නාහිර පළාත (19.2%) තුළය. සිංහල බ්ලොග් අඩවි නරඹන ජනගහනය ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන්නන් අතරින් ද සීමිත කොටසක් බව අපට උපකල්පනය කළ හැක. ඕනෑම යුගයක කලා නිශ්පාදනය සහ සන්නිවේදනය එම යුගයේ දක්නට ලැබෙන තාක්ෂණික වර්ධනය අනුව බොහෝ දුරට තීරණය වන බව ජර්මානු ජාතික සංස්කෘතික විචාරකයෙකු සහ සමාජවිද්‍යාඥයෙකු වන වෝල්ටර් බෙන්ජමින් 1935 දී තම ‘The Work of Art in the Age of Mechanical Reproduction’ නැමැති ලිපියේ සඳහන් කරයි. ඒ අනුව බ්ලොග්කරණය නැමැති මාධ්‍යය කලාවක් වශයෙන් ගෙන බැලුවහොත් එහි තාක්ෂණික වර්ධනය මෙන් ම රටේ යටිතල පහසුකම් වර්ධනය වී ඇති මට්ටම අනුව සිංහල බ්ලොග්කරණය හා ඒ සමඟ ප්‍රේක්ෂකයින් පවත්වන සම්බන්ධතාව තීරණය වන බව කිව හැක.

සිංහල බ්ලොග් අවකාශය තුළ ඡායාරූප භාවිතා වන ආකාරය

හැරල්ඩ් ලැස්වේල් නම් ඇමරිකානු දේශපාලන විද්‍යාඥයා සහ සන්නිවේදන න්‍යායවාදියා පෙන්වා දෙන පරිදි,

1. කවුද?

2. ප්‍රකාශ කළේ කුමක්ද?

3. කවර මාධ්‍යයකින්ද?

4. ප්‍රකාශ කළේ කාටද?

5. කවර බලපෑමක් සඳහාද?

යන ප්‍රධාන සාධක පහ සන්නිවේදනයේදී වැදගත් වනුයේ, එකී සන්නිවේදන ක්‍රියාදාමයේදී ලබා දීමට උත්සාහ කරන පණිවුඩය පිළිබඳ සමස්ත අර්ථය ඉන් නිරූපණය වන බැවිනි. මෙහිදී ඡායාරූප තාක්ෂණය භාවිත කොට සිංහල බ්ලොග් අවකාශය තුළ ග්‍රාහක සමාජයට ඇති කරන බලපෑම මෙම කොටසේදී සාකච්ඡා කෙරේ.

clip_image002

”උපේක්ෂාට ප්ලාස්ටික් සැතකමක්”, ”උපේක්ෂාගේ සැමියා පොලිසියට භාර වෙයි”, "යුද්දෙ නම් හරි ඒත් පබා?", මේ ආකරයේ ශිර්ෂ පාඨ භාවිත කරමින් ”පබා” ටෙලිනාට්‍යයේ ඡායාරූප භාවිත කොට උපේක්ෂා ස්වර්ණමාලි නම් නිළියගේ පෞද්ගලික ජීවිතයේ යම් සංසිද්ධියක් නාට්‍යයමය ස්වරූපයෙන් ඉදිරිපත් කොට තිබේ. තවත් එක් සිංහල බ්ලොග් අඩවියක් තුළ පබා ටෙලි වෘතාන්තයේම ඡායාරූපයක් භාවිත කරමින්, ”මට නම් දැන් ඇති වෙලා” යැයි ඇගේ සැබෑ පෞද්ගලික ජීවිතයත් නාට්‍යමය දෙබසක ස්වරූපයෙන්ම ඉදිරිපත් කර තිබුණි. මේ අනුව ප්‍රේක්ෂක අවධානය දිනා ගත හැකි වන පරිදි කතාන්දර නිර්මාණය කිරීම සඳහා ඡායාරූ තාක්ෂණය යොදා ගෙන ඇත්තේ මාධ්‍යය මඟින් අපේ ජීවිතයේ සෑම දෙයක්ම පාලනය කරන බවට ජෝන් බෝඩ්‍රියාඩ් නම් ප්‍රංශ සමාජ විද්‍යාඥයාගේ (1998) අදහස තහවුරු කරමිනි.

clip_image004

මෙම වසරේ මාර්තු මාසයේ කෆීර් ගුවන් අනතුර සිදු වූ විට බහුතර ප්‍රේක්ෂක අවධානය ඊට යොමුව තිබූ අතර සිංහල බ්ලොග් අවකාශය තුළත් ඒ සඳහා වැඩි ඉඩ කඩක් සපයා දී තිබුණි. එහිදීද මෙම හදිසි ගුවන් අනතුර පිළිබඳ මෙන්ම විටෙක ඊට වඩා වෙනත් කරුණු සඳහා අවධානය යොමු කරවීමක් අධ්‍යයනය කළ හැකි විය. එක් බ්ලොග් අඩවියක ඒ අවස්ථාවේදී ජානාධිපතිවරයා එකී අනතුර සිදු වූ ස්ථානයට එම අනතුරෙන් සුළු වේලාවකට පසුව පැමිණීම වඩා වැඩි අවධානයක් යොමු වන පරිදි නිරූපණය කොට තිබුණේ ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණෙන ඡායාරූපයකට මූලික අවකාශයක් බ්ලොග් අඩවිය තුළදී ලබා දෙමිනි. එසේම සිග්‍ෆ්‍රීඩ් ක්‍රැකවර් (1927) නම් ජර්මානු-යුදෙව් චින්තකයා අර්ථ දක්වන පරිදි අදාළ සිදුවීමට වඩා ඡායාරූපයට පුද්ගලයා විසින් වඩා වැඩි වැදගත්කමක් ලබා දෙන බව තහවුරු කරමින් අදාළ අනතුඅර කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා ප්‍රේක්ෂක අවධානය යොමුව තිබුණේ, කෆීර් යානය ගිනිගත් ආකාරය කෙසේද?, දිවි බේරා ගත් නියමුවා බිමට බට පැරෂුටය කොහේද?, කෆීර යානයේ ඉතුරු වී ඇති සුන්බුන් මොනවාද?, යනාදී ඡායාරූ මඟින් ග්‍රහණය කර ගත් අවස්ථා කෙරෙහි වේ.මේ අනුව කාලය හා අවකාශය සමඟ සම්බන්ධ එක් මොහොතක් කැමරාවට හසු කර ගන්නා නමුත් එකී අදාළ අවස්ථාවට ස්වකීය ස්මෘතියේ වැඩි ඉඩක් ලබා දෙනවා වෙනුවට කැමරාව යන තාක්ෂණික ඇටවුම මත පදනම් වූ ඡායාරූපයට නූතන සමාජය විසින් වැඩි ඉඩකඩක් ලබා දෙන බවට ක්‍රකවර් ඔහු ජීවත් වූ කලයේ සමාජය විවේචනය කළ ද එකී තත්ත්වය වත්මන් සමාජයටත් එක සේ අදාළ වන බව අපට විශ්ලේෂණය කළ හැකිවේ.

clip_image006

එසේම ඉහත දැක්වෙන භික්ෂුන් වහන්සේ ඇතුළත් ඡායාරූපයේ තේමාව ”කට නොකියනවට මරණී මේ මරණී සුරාමේරය වේ රමණී” ලෙස දක්වමින් මෙන්ම මීළඟ ඡායාරූපයේ දැක්වෙන තැනැත්තා තමා බෝධි සත්ත්වයෙකු යැයි කියා ගන්න තැනැත්තෙකු බව අදාළ ප්‍රවෘතියේ සඳහන් වුව ද මෙකී ඡායා රූ ද්විතවය මඟින්ම උපහාසාත්මාක ප්‍රති රූ මවමින් ප්‍රේක්ෂකයාට යම් හාස්‍යයමය වින්දනයක් ලබා දීමට තැත් දරා ඇති අයුරු ප්‍රකට වේ.

බෞද්ධාගමික සංඝ රත්නය මෙසේ උපහාසාත්මක ලෙස ඡාරාරූප හරහා නිරූපණට වුවද ඊට සාපේක්ෂව අරාබි අනන්‍යතාව සහිතව රාමසාන් සුබ පැතුම් සහ ක්‍රිස්තියානි ආගමික ඡායාරූ වඩා වන්දනීය ස්වරූපයකින් භාවිත වන බවක් විද්‍යමාන වේ.

clip_image007

එමෙන්ම, ”අනේ ටිල්වින් දැන්වත් ඔය අහිංසක කොලන්ට ඉන්න දීපන්”, ” නිකන් අහිංසක කොල්ලන් මරන්නේ නැතුව නිකන් ඉන්න” වැනි තේමා භාවිත කරමින් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ද, කෘෂිකර්මාන්තය පිළිබඳ ලිපියක් සඳහා බැසිල් රාජපක්ෂගේ සිනාපිරි මුවින් යුතු ඡායාරූපයක් ද, ජනපති ත්‍රිවිධ හමුදාව සමඟ සිටින ඡායා රුවක් ද, සරත් ෆොන්සේකා සිනාමුසුව නිදහස් වීමට දින ගනිමින් සිර කූඩුවේ සිටින ඡායාරූපයක් ද, වැනි විවිධ ආකාරයේ ඡායාරූ භාවිත කරමින් ජෝන් ටැග් දකින පරිදි බලය හා සම්බන්ධ ප්‍රතිරූප මැවීමට මෙකී තාක්ෂණය යොදා ගන්නා ආකරය මනාව පැහැදිළි වේ. එනම් ඡායාරූපයක් සහ ඉන් නිරූපණය වන පුද්ගලයා අතර කැඩිය නොහැකි සබඳතාවක් ඇති බව සත්‍යය වන අතර ඒ සබඳතාවට යම් බලයක් ද හිමි වන බව ටැග් දකී. ඔහුට අනුව එකී බලය මත පදනම්ව රාජ්‍යය පරිපාලනයේ එක් ස්වරූපයක් ලෙස ඡායාරූපය භාවිත වේ. මෙම ඡායාරූ මඟින් ද එකී අදහස සත්‍යය බව තහවූරු කෙරෙනුයේ, පරිපාලනය හා සම්බන්ධව, කුමන පුද්ගලයාව, කුමන ස්වරූපයකින් නියෝජනය කන්නේද යන්න එකී තාක්ෂණය මඟින් නූතනයේ තීරණය කෙරෙන බැවිනි.

මෙහිදී මෙකී තත්වයන්ගෙන් බැහැරව හුදෙක් දැනුම නිෂ්පාදනය සඳහා ඡායරූ භාවිත කෙරෙන බ්ලොග් අවකාශ ද තිබෙන අතර කිසිදු ඡාරූපයක් භාවිත නොකරන බ්ලොග් අඩවි ද තිබේ. කෙසේ වුවත්, ප්‍රතිරූප මැවීමට, උපහාසය දැනවීමට, තොරතුරු විවිධ මතවාද තහවුරු වෙන පරිදි ඉදිරිපත් කිරීමට, සිංහල බ්ලොග් අවකාශය තුළ ඡායාරූප මාධ්‍යය භාවිත කොට තිබුණේ, පෝල් වැලරි උපුටා දක්වමින් වෝල්ටර් බෙන්ජමින් ප්‍රකාශ කරන තාක්ෂණය මඟින් මිනිසාගේ පරිකල්පනයන් සහ සන්ජානනයන් වෙනස් කරන බව මෙන්ම ටැග් දකින පරිදි එමඟින් යථාර්ථයක් නිරූපණය කිරීමක් නොව, පරිපාලනය හා සම්බන්ධ තවත් එක් නිරූපණයක් පමණක් බව ප්‍රත්‍යක්ෂ කරමින් වේ. මේ සියල්ල හරහා දැනුම සහ ප්‍රචාරණය ලැබුණද බෝඩ්‍රියාඩ් කියන පරිදි මේ සියල්ල තුළ යථාර්ථයක් නොමැති අතර ආකෘතිගත නිරූපණයක්, නියෝජනයක් පමණක් සිදු වන බව පැහැදිළි වේ.

සිංහල බ්ලොග් අඩවිවල වෙළඳ දැන්වීම්

සමහර සිංහල බ්ලොග් අඩවි මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් සිය බ්ලොග් අඩවිවල වෙළඳ දැන්වීම් පළ කරයි. සමහර බ්ලොග් අඩවිවල වෙළඳ දැන්වීම් පළවන අතර, සමහර බ්ලොග් අඩවිවල වෙළඳ දැන්වීම් පළවන්නේ නැත. සිංහල බ්ලොග් අඩවිවල පළවන වෙළඳ දැන්වීම් දෙස බලන විට බ්ලොග් අඩවියේ ස්වභාවය (එය අයත් ප්‍රවර්ගය) සහ එහි පළ කරන වෙළඳ දැන්වීම්වල ස්වභාවය අතර සම්බන්ධතාවක් පවතින බව පෙනේ. උදාහාරණයක් වශයෙන් ‘ගොසිප් ලංකා’ බ්ලොග් අඩවියේ ප්‍රධාන පාඨකයින් පිළිබඳ උපකල්පන මත එහි පළ කරන වෙළඳ දැන්වීම් නිර්ණය කෙරෙන බව පෙනේ. ගොසිප් ලංකා බ්ලොග් අඩවියේ දක්නට ලැබෙන බොහෝ වෙළඳ දැන්වීම් පාරිභෝගිකයන් වශයෙන් කාන්තාවන් ඉලක්ක කර ගන්නා බව පෙනෙන අතර මේ හරහා පාඨකයින්ගේ පරිභෝජන රටාවලට යම් බලපෑමක් ඇති කිරීමට උත්සහ ගැනෙන බව පෙනේ. මෙම බ්ලොග් අඩවියේ විවාහයට සහකරුවකු සොයා ගැනීමට ලියාපදිංචි විය හැකි ‘ශ්‍රි ලංකා මැට්රිමොනි’ වැනි ආයතනවල දැන්වීම්, උසස් අධ්‍යාපන ආයතනවල දැන්වීම්, ලග්න පලාපල දැනගැනීමට යොමු විය හැකි වෙබ් අඩවිවල දැන්වීම්, මීයන්/කැරපොත්තන් වැනි සතුන්ගේ උවදුරුවලින් මීදීම හෝ සුරතල් සතුන්ගේ ලෙඩ රෝගවලට ප්‍රතිකාර ලබාගැනීම වැනි ගෙදරදොර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා යොමු විය හැකි ආයතනවල දැන්වීම් වැනි වෙළඳ දැන්වීම් බහුලව දැකිය හැක. බ්ලොග් අඩවියේ වෙළද දැන්වීම් හරහා එම දැන්වීම අයිති වෙළඳ සමාගමේ ප්‍රධාන වෙබ් අඩවියට සෘජු ලෙස යොමු වීමේ පහසුකම් සලසා ඇත. මේ අනුව වෙළඳ සමාගම් සහ පාරිභෝගිකයන් අතර තොරතුරු හුවමාරුව පහසුවෙන් සිදුකිරීම සඳහා නව අවකාශයක් බ්ලොග් අඩවි හරහා නිර්මාණය වී ඇත. එමෙන්ම වෙළඳ දැන්වීම් බ්ලොග්කරුවන්ට මුදල් ඉපැයීමේ මාර්ගයක් ද සලසා ඇත. නමුත් වානිජමය පරමාර්ථවලින් බැහැරව වෙළඳ දැන්වීම් කිසිවක් පළ නොකරන සිංහල බ්ලොග් අඩවි ද දක්නට ලැබේ.

සමාලෝචනය

පිවිසීමේ පහසුව, අලුත් මෙන්ම පරණ තොරතුරු ද ඉක්මනින් ලබා ගත හැකි බව, අදහස් ප්‍රකාශ කීරීමට ඇති නිදහස, නිර්නාමික වීමට ඇති හැකියාව, ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රතිචාර දැක්වීමේදී භාෂා භාවිතය හා සම්බන්ධ ප්‍රමිතීන්ට අනුගත වීම අත්‍යවශ්‍ය නොවීම වැනි ලක්ෂණවලින් නිර්වචනය කළ හැකි බ්ලොග් අඩවි, අන්තර්ජාලය භාවිතාකරන්නන්හට අලුත් අත්දැකීමක් ලබා දී ඇත. සිංහල භාෂාවෙන් බ්ලොග්කරණය ආරම්භ වීමත් සමඟ සිංහලෙන් කියවන පාඨකයන්ට තමන්ට සමීප මාතෘකා පිළිබඳ තොරතුරු කියවීමට මෙන්ම තම අදහස් තමන්ට පහසු භාෂාවෙන් ලෝකයා හා බෙදා ගැනීමට, ලෝකයේ ඕනෑම තැනක සිට පිවිසිය හැකි මාධ්‍යයක් විවෘත කර ඇත. ලේඛකයන්, පාඨකයන්, විචාරකයන්, නිෂ්පාදකයන්, සේවා සපයන්නන්, පාරිභෝගිකයන් වැනි බොහෝ පාර්ශ්ව අතර බල ධූරාවලි පහත හෙළමින්, සිංහලෙන් කියවන ඕනෑම අයෙකුට තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබාදෙමින්, අලුත් ආකාරයේ සම්බන්ධතා ගොඩනැංවීම සඳහා අලුත් අවකාශයක් සිංහල බ්ලොග් අඩවි හරහා නිර්මාණය වී ඇත. එමෙන්ම සිංහලෙන් කියවන පාඨකයන්ට සිංහල බ්ලොග් අඩවි හරහා අන්තර්ජාලය සිය මාධ්‍යය භාවිතයේ අංගයක් කරගැනීමට හැකි වී ඇත.

ආශ්‍රිත පාඨ

Jean Baudrillard, “Simulacra and Simulations”, 1998.

Walter Benjamin, “The Work of Art in the Age of Mechanical Reproduction”, 1935.

Siegfried Kracauer, “Photography”, 1927.

ස්තූතිය

සිංහල බ්ලොග් අඩවිවල ආරම්භය පිළිබඳ තොරතුරු ලබාදුන් තිළිණ ගුණසේකර සහ මලින්ත සමරකෝන් හට බෙහෙවින් සිතූතිවන්ත වෙමු.

Post a comment or leave a trackback: Trackback URL.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s

%d bloggers like this: