Category Archives: Posts in Sinhala

සිංහල බ්ලොග් නැමැති මාධ්‍ය ක්ෂේත්‍රය

උන්නතී සමරවීර
ධනංජ ඉල්ලගොල්ල
ක්‍රිෂාන් චින්තක
චමත්කා දේවසිරි
තමාරා නිශ්ශංක

මෙරටේ අන්තර්ජාලය භාවිතා කරන්නන් අතුරින් සිංහල බ්ලොග් අඩවි තම එදිනෙදා මාධ්‍ය භාවිතයේ අංගයක් කරගෙන ඇත්තේ කීයෙන් කීදෙනාද?

image

කොළඹ විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා විශේෂවේදී උපාධිය සඳහා අධ්‍යයනය කරන්නට යෙදුනු ‘ජන මාධ්‍ය පිළිබඳ සමාජවිද්‍යාව’ නැමැති පාඨමාලාව සඳහා නිම කිරීමට තිබූ සමූහ ව්‍යාපෘතියකට තේමාව වශයෙන් අපි ‘සිංහල බ්ලොග් අඩවි’ නැමැති තේමාව ‍තෝරාගත්තේ, මෙරටේ විවිධ මාධ්‍යය ගැන කතා කරන විට සිංහල බ්ලොග් අඩවි වෙත සමාජයේ එතරම් අවධානයක් යොමු නොවන නිසාය. ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රය තුළ අඩු අවධානයක් යොමු වුවද, සිංහල බ්ලොග් අඩවි යනු සීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින සන්නිවේදන මාධ්‍යයක් බව පෙනෙන්නට තිබීමත් මෙවැනි මාතෘකාවක් ‍තෝරාගැනීමට අපව යොමු කළ කරුණකි. පහත දැක්වෙන්නේ මීට මාස කිහිපයකට පෙර නිම කළ ඉහත කී සමූහ ව්‍යාපෘතියට යොදා ගත් තොරතුරුවලට අමතර කරුණු ද එකතු කරමින් සිංහල බ්ලොග් අවකාශය පිළිබඳ සැකසූ සටහනකි.

සිංහල බ්ලොග් අඩවි ගැන සාකච්ඡා කරන්නට මත්තෙන් පොදුවේ බ්ලොග් අඩවි යනු කුමක්දැයි හඳුනා ගනිමු. ‘බ්ලොග්’ (blog) යන ඉංග්‍රීසි වචනය ‘වෙබ්’ සහ ‘ලොග්’ (web+log) යන පද දෙක එකතු වීමෙන් සෑදී ඇත. ඒ අනුව, බ්ලොග් අඩවියක් යනු අන්තර්ජාලය තම අවකාශය කරගත් සටහන් මාලාවක්, එසේත් නැත්නම් සටහන් ගොනුවක් ලෙස සරලව හැඳින්විය හැක. බ්ලොග් අඩ්වියක් සාමාන්‍ය වෙබ් අඩවියකින් වෙනස් වන්නේ බ්ලොග් අඩවිවල පාඨකයින්ට තම අදහස් එහි සටහන් කළ හැකි නිසාය. බ්ලොග් අඩවියක් යාවත්කාල කිරීම ‘බ්ලොග්කරණය’ ලෙසත් එය පවත්වා ගෙන යන්නා ‘බ්ලෝග්කරුවකු’ ලෙසත් හැඳින්වේ. බ්ලොග් අඩවියක තොරතුරු සෑම විටම පාහේ කාලානුක්‍රමිකව දක්වන අතර වඩාත් මෑත කාලීන තොරතුරු වඩාත් කැපී පෙනෙන ලෙස බ්ලොග් අඩවියේ ඉහලින් ඉදිරිපත් කෙරේ. වර්තමානයේ පවතින ආකෘතියට අනුව බ්ලොග් අඩවි නිර්මාණය වීමට පටන් ගෙන ඇත්තේ වර්ෂ 1994 දී පමණය.

එනමුත් සිංහල බ්ලොග් අඩවිවල ආරම්භය සනි‍ටුහන් වන්නේ තරමක් මෑතකදී, එනම් වර්ෂ 2006 දී පමණය. සිංහල යුනිකේත ක්‍රමය (unicode) හඳුන්වාදීමෙන් පසුව අන්තර්ජාලයට ගැලපෙන මුහුණුවරකින් සිංහල අක්ෂර භාවිතා කිරීමේ පහසුව ඇති වීමත් සමඟ, සිංහල බ්ලොග් අඩවි නිර්මාණය වීමට පටන් ගැනුණි. ඒ අනුව, වර්තමානය වනවිට සිංහල බ්ලොග් අඩවි දහස් ගණනක් ක්‍රියාකාරීව පවතින බව අන්තර්ජාලයේ සැරිසරන්නකුට පෙනී යයි.

සිංහල බ්ලොග් කියවනය (Sinhala Blog Reader) යනු එවැනි සිංහල බ්ලොග් අඩවිවල ලිපි පාඨකයින් වෙත ගෙන හැර දක්වන වෙබ් අඩවියකි, නැතහොත් බ්ලොග් සින්ඩිකේටරයකි. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසඳය (Sinhala Bloggers’ Union) විසින් හඳුන්වා දී ඇති මෙම වෙබ් අඩවියේ ප්‍රධානතම කෘත්‍යය වන්නේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසඳයේ සාමාජිකත්වය ලබා ඇති සිංහල බ්ලොග් අඩවි වෙත පුළුල් පාඨක අවධානයක් ලබා දීමයි. ඊට අමතරව, සිංහල බ්ලොග් අඩවියක් ආරම්භ කරන ආකාරය සහ පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීම ද සිංහල බ්ලොග් කියවනයෙන් ඉ‍ටු කරන සේවාවකි. වර්ෂ 2008 දී ආරම්භ කර ඇති සිංහල බ්ලොග් කියවනයේ සාමජිකත්වය ලබා ඇති සිංහල බ්ලොග් සංඛ්‍යාව මේ වන විට 1100 ඉක්මවන අතර එම එක් එක් බ්ලොග් අඩවිවල නවතම ලිපි කාලානුරූපීව සිංහල බ්ලොග් කියවනයේ පළ කෙරේ. මෙම වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබාගෙන ඇති බ්ලොග් අඩවි ඒවාට ආවේනික වූ ක්ෂේත්‍ර අනුව, ආගමික, පුද්ගලික, පොඩ්කාස්ට්, විද්‍යා/තාක්ෂණ, විනෝදාස්වාද, සමාජයීය, සාහිත්‍ය/කලා, සහ දේශපාලන/පුවත් යන විවිධ අංශ යටතේ ගොනු කර ඇත. සිංහල බ්ලොග් කියවනයට අමතරව, ‘සිංඩිය’ සහ ‘ලාංකීය සිතුවිලි’ නමින් ක්‍රියාත්මකවන සිංහල බ්ලොග් සින්ඩිකේටර හරහා ද පාඨකයින්ට සිංහල බ්ලොග් ගණනාවකට පහසුවෙන් පිවිසිය හැක.

සිංහල බ්ලොග් අඩවිවල කතුවරුන් තම සැබෑ නම හෝ අනුවර්ත නාමයක් යොදාගනිමින් ද, නිර්නාමිකව ද ලිපි පළ කරති. තනි පුද්ගලයින් මෙන් ම පුද්ගලයින්ගේ එකතුවෙන් සෑදුනු සමූහ ද සිංහල බ්ලොග් අඩවි පවත්වාගෙන යන අතර, ඇතැම් කතුවරුන් තමන් කවුරුන්දැයි හඳුන්වා දීමට විස්තරයක් පළ කරති.

සිංහල බ්ලොග් අඩවි ආරම්භ කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සිංහලෙන් බ්ලොග් ලේකඛයින්ට සහ සිංහලෙන් කියවන පාඨකයින්ට තමන්ට සමීප මාතෘකා පිළිබඳ දැනුම, මතවාද සහ අදහස් හුවමාරු කරගැනීමේ අවස්ථාව උදා වී ඇත. ‘සිංහල බෞද්ධයා’ නම් බ්ලොග් අඩවියේ 2011 පෙබරවාරි මස 27වන දින පළවී ඇති ‘ජාතික ගීයට භික්ෂූන් වහන්සේ නැගිටීම සුදුසු ද?’ යන ලිපිය සහ ‘සයිබර් අවකාශයේ හෙළ හඬ’ බ්ලොග් අඩවිය 2011 ජනවාරි 31වන දින පළ කර ඇති ‘සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසය’ නම් ලිපිය උදාහරණ වශයෙන් දැක්විය හැක. බ්ලොග් අඩවි හරහා පාඨකයින්ට අදාල මාතෘකාව පිළිබඳව අදහස් හුවමාරු කරගත හැකි නිසා ඇතැම් දේශීය දේශපාලනික පුවත් පිළිබඳ උණුසුම් සංවාද ගොඩනැ‍ඟෙන අවස්ථා ද පවතී.

පාඨකයින් නිර්නාමිකව හෝ අනුවර්ත නාමයකින් තම අදහස් සටහන් කිරීම සුලභව දක්නට ලැබේ. එමඟින් තම අනන්‍යතාව හෙළි නොකරමින් තමන්ට අවශ්‍ය දී කීමට පාඨකයිට අවස්ථාව ඇත. පෙර පළ වූ ලිපි පහසුවෙන් නැවත නැවත කියවීමේ අවස්ථාව ද බ්ලොග් අඩවිවල පාඨකයින්ට හිමිවේ. මෙය රූපවාහිනී, ගුවන්විදුලි සහ පුවත්පත් වැනි වෙනත් මාධ්‍යයන් සමඟ සන්සන්දනය කළ විට බ්ලොග් භාවිතා කරන්නන්ට ලැබෙන සුවිශේෂී අවස්ථාවක් වශයෙන් සැලකිය හැක.

තම බ්ලොග් අඩවියට පැමිණි පාඨකයින් ගණන සහ එම පාඨකයින් කුමන රටවලට අයත් දැයි ඇතැම් බ්ලොග් අඩවිවල දිස්වේ. එවැනි සිංහල බ්ලොග් අඩවිවලින් පෙනෙන්නේ ඒවාට වැඩි වශයෙන් ම පිවිසෙන්නේ ශ්‍රී ලංකාවේ සිටින පාඨකයින් බවයි. ඊට අමතරව බහුලවම සිටින්නේ ඇමරිකාවේ, ඉතාලියේ, බ්‍රිතාන්‍යයේ, ඕස්ට්‍රේලියාවේ සහ මැද පෙරදිග සිට නරඹන පාඨකයින්ය.

කෙසේ නමුත් සිංහල බ්ලොග් අඩවිවලට තවමත් සිටින්නේ සීමිත ප්‍රේක්ෂකයින් පිරිසක් බව කිව හැකිය. ශ්‍රී ලංකාව තුළ යම්තාක් දුරකට සීමිත අන්තර්ජාල භාවිතයක් තිබීම මීට හේතුවී ඇති එක් කරුණක් බව හඳුනාගත හැක. ජන සංගණන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව 2009 දී සිදු කර ඇති සමීක්ෂණයකට අනුව, වර්ෂ 2009 වනවිට ශ්‍රී ලංකාවේ ගෘහාශ්‍රිත මට්ටමින් අන්තර්ජාලය භාවිතය සිදුවී ඇත්තේ ජනගහනයෙන් 13.1% අතරය. ග්‍රාමීය ප්‍රජාවට (11.1%) වඩා නාගරික ප්‍රජාව (23.9%) අතර අන්තර්ජාල භාවිතය ඉහලින් සිදුවන බව ද එම සමීක්ෂණ වාර්තාවට අනුව පිළිබිඹු වේ. දිවයිනේ ඉහළින් ම අන්තර්ජාල භාවිතය සිදු වන්නේ බස්නාහිර පළාත (19.2%) තුළය. සිංහල බ්ලොග් අඩවි නරඹන ජනගහනය ශ්‍රී ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන්නන් අතරින් ද සීමිත කොටසක් බව අපට උපකල්පනය කළ හැක. ඕනෑම යුගයක කලා නිශ්පාදනය සහ සන්නිවේදනය එම යුගයේ දක්නට ලැබෙන තාක්ෂණික වර්ධනය අනුව බොහෝ දුරට තීරණය වන බව ජර්මානු ජාතික සංස්කෘතික විචාරකයෙකු සහ සමාජවිද්‍යාඥයෙකු වන වෝල්ටර් බෙන්ජමින් 1935 දී තම ‘The Work of Art in the Age of Mechanical Reproduction’ නැමැති ලිපියේ සඳහන් කරයි. ඒ අනුව බ්ලොග්කරණය නැමැති මාධ්‍යය කලාවක් වශයෙන් ගෙන බැලුවහොත් එහි තාක්ෂණික වර්ධනය මෙන් ම රටේ යටිතල පහසුකම් වර්ධනය වී ඇති මට්ටම අනුව සිංහල බ්ලොග්කරණය හා ඒ සමඟ ප්‍රේක්ෂකයින් පවත්වන සම්බන්ධතාව තීරණය වන බව කිව හැක.

සිංහල බ්ලොග් අවකාශය තුළ ඡායාරූප භාවිතා වන ආකාරය

හැරල්ඩ් ලැස්වේල් නම් ඇමරිකානු දේශපාලන විද්‍යාඥයා සහ සන්නිවේදන න්‍යායවාදියා පෙන්වා දෙන පරිදි,

1. කවුද?

2. ප්‍රකාශ කළේ කුමක්ද?

3. කවර මාධ්‍යයකින්ද?

4. ප්‍රකාශ කළේ කාටද?

5. කවර බලපෑමක් සඳහාද?

යන ප්‍රධාන සාධක පහ සන්නිවේදනයේදී වැදගත් වනුයේ, එකී සන්නිවේදන ක්‍රියාදාමයේදී ලබා දීමට උත්සාහ කරන පණිවුඩය පිළිබඳ සමස්ත අර්ථය ඉන් නිරූපණය වන බැවිනි. මෙහිදී ඡායාරූප තාක්ෂණය භාවිත කොට සිංහල බ්ලොග් අවකාශය තුළ ග්‍රාහක සමාජයට ඇති කරන බලපෑම මෙම කොටසේදී සාකච්ඡා කෙරේ.

clip_image002

”උපේක්ෂාට ප්ලාස්ටික් සැතකමක්”, ”උපේක්ෂාගේ සැමියා පොලිසියට භාර වෙයි”, "යුද්දෙ නම් හරි ඒත් පබා?", මේ ආකරයේ ශිර්ෂ පාඨ භාවිත කරමින් ”පබා” ටෙලිනාට්‍යයේ ඡායාරූප භාවිත කොට උපේක්ෂා ස්වර්ණමාලි නම් නිළියගේ පෞද්ගලික ජීවිතයේ යම් සංසිද්ධියක් නාට්‍යයමය ස්වරූපයෙන් ඉදිරිපත් කොට තිබේ. තවත් එක් සිංහල බ්ලොග් අඩවියක් තුළ පබා ටෙලි වෘතාන්තයේම ඡායාරූපයක් භාවිත කරමින්, ”මට නම් දැන් ඇති වෙලා” යැයි ඇගේ සැබෑ පෞද්ගලික ජීවිතයත් නාට්‍යමය දෙබසක ස්වරූපයෙන්ම ඉදිරිපත් කර තිබුණි. මේ අනුව ප්‍රේක්ෂක අවධානය දිනා ගත හැකි වන පරිදි කතාන්දර නිර්මාණය කිරීම සඳහා ඡායාරූ තාක්ෂණය යොදා ගෙන ඇත්තේ මාධ්‍යය මඟින් අපේ ජීවිතයේ සෑම දෙයක්ම පාලනය කරන බවට ජෝන් බෝඩ්‍රියාඩ් නම් ප්‍රංශ සමාජ විද්‍යාඥයාගේ (1998) අදහස තහවුරු කරමිනි.

clip_image004

මෙම වසරේ මාර්තු මාසයේ කෆීර් ගුවන් අනතුර සිදු වූ විට බහුතර ප්‍රේක්ෂක අවධානය ඊට යොමුව තිබූ අතර සිංහල බ්ලොග් අවකාශය තුළත් ඒ සඳහා වැඩි ඉඩ කඩක් සපයා දී තිබුණි. එහිදීද මෙම හදිසි ගුවන් අනතුර පිළිබඳ මෙන්ම විටෙක ඊට වඩා වෙනත් කරුණු සඳහා අවධානය යොමු කරවීමක් අධ්‍යයනය කළ හැකි විය. එක් බ්ලොග් අඩවියක ඒ අවස්ථාවේදී ජානාධිපතිවරයා එකී අනතුර සිදු වූ ස්ථානයට එම අනතුරෙන් සුළු වේලාවකට පසුව පැමිණීම වඩා වැඩි අවධානයක් යොමු වන පරිදි නිරූපණය කොට තිබුණේ ජනාධිපතිවරයා එම ස්ථානයට පැමිණෙන ඡායාරූපයකට මූලික අවකාශයක් බ්ලොග් අඩවිය තුළදී ලබා දෙමිනි. එසේම සිග්‍ෆ්‍රීඩ් ක්‍රැකවර් (1927) නම් ජර්මානු-යුදෙව් චින්තකයා අර්ථ දක්වන පරිදි අදාළ සිදුවීමට වඩා ඡායාරූපයට පුද්ගලයා විසින් වඩා වැඩි වැදගත්කමක් ලබා දෙන බව තහවුරු කරමින් අදාළ අනතුඅර කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා ප්‍රේක්ෂක අවධානය යොමුව තිබුණේ, කෆීර් යානය ගිනිගත් ආකාරය කෙසේද?, දිවි බේරා ගත් නියමුවා බිමට බට පැරෂුටය කොහේද?, කෆීර යානයේ ඉතුරු වී ඇති සුන්බුන් මොනවාද?, යනාදී ඡායාරූ මඟින් ග්‍රහණය කර ගත් අවස්ථා කෙරෙහි වේ.මේ අනුව කාලය හා අවකාශය සමඟ සම්බන්ධ එක් මොහොතක් කැමරාවට හසු කර ගන්නා නමුත් එකී අදාළ අවස්ථාවට ස්වකීය ස්මෘතියේ වැඩි ඉඩක් ලබා දෙනවා වෙනුවට කැමරාව යන තාක්ෂණික ඇටවුම මත පදනම් වූ ඡායාරූපයට නූතන සමාජය විසින් වැඩි ඉඩකඩක් ලබා දෙන බවට ක්‍රකවර් ඔහු ජීවත් වූ කලයේ සමාජය විවේචනය කළ ද එකී තත්ත්වය වත්මන් සමාජයටත් එක සේ අදාළ වන බව අපට විශ්ලේෂණය කළ හැකිවේ.

clip_image006

එසේම ඉහත දැක්වෙන භික්ෂුන් වහන්සේ ඇතුළත් ඡායාරූපයේ තේමාව ”කට නොකියනවට මරණී මේ මරණී සුරාමේරය වේ රමණී” ලෙස දක්වමින් මෙන්ම මීළඟ ඡායාරූපයේ දැක්වෙන තැනැත්තා තමා බෝධි සත්ත්වයෙකු යැයි කියා ගන්න තැනැත්තෙකු බව අදාළ ප්‍රවෘතියේ සඳහන් වුව ද මෙකී ඡායා රූ ද්විතවය මඟින්ම උපහාසාත්මාක ප්‍රති රූ මවමින් ප්‍රේක්ෂකයාට යම් හාස්‍යයමය වින්දනයක් ලබා දීමට තැත් දරා ඇති අයුරු ප්‍රකට වේ.

බෞද්ධාගමික සංඝ රත්නය මෙසේ උපහාසාත්මක ලෙස ඡාරාරූප හරහා නිරූපණට වුවද ඊට සාපේක්ෂව අරාබි අනන්‍යතාව සහිතව රාමසාන් සුබ පැතුම් සහ ක්‍රිස්තියානි ආගමික ඡායාරූ වඩා වන්දනීය ස්වරූපයකින් භාවිත වන බවක් විද්‍යමාන වේ.

clip_image007

එමෙන්ම, ”අනේ ටිල්වින් දැන්වත් ඔය අහිංසක කොලන්ට ඉන්න දීපන්”, ” නිකන් අහිංසක කොල්ලන් මරන්නේ නැතුව නිකන් ඉන්න” වැනි තේමා භාවිත කරමින් ජනතා විමුක්ති පෙරමුණ පිළිබඳව ද, කෘෂිකර්මාන්තය පිළිබඳ ලිපියක් සඳහා බැසිල් රාජපක්ෂගේ සිනාපිරි මුවින් යුතු ඡායාරූපයක් ද, ජනපති ත්‍රිවිධ හමුදාව සමඟ සිටින ඡායා රුවක් ද, සරත් ෆොන්සේකා සිනාමුසුව නිදහස් වීමට දින ගනිමින් සිර කූඩුවේ සිටින ඡායාරූපයක් ද, වැනි විවිධ ආකාරයේ ඡායාරූ භාවිත කරමින් ජෝන් ටැග් දකින පරිදි බලය හා සම්බන්ධ ප්‍රතිරූප මැවීමට මෙකී තාක්ෂණය යොදා ගන්නා ආකරය මනාව පැහැදිළි වේ. එනම් ඡායාරූපයක් සහ ඉන් නිරූපණය වන පුද්ගලයා අතර කැඩිය නොහැකි සබඳතාවක් ඇති බව සත්‍යය වන අතර ඒ සබඳතාවට යම් බලයක් ද හිමි වන බව ටැග් දකී. ඔහුට අනුව එකී බලය මත පදනම්ව රාජ්‍යය පරිපාලනයේ එක් ස්වරූපයක් ලෙස ඡායාරූපය භාවිත වේ. මෙම ඡායාරූ මඟින් ද එකී අදහස සත්‍යය බව තහවූරු කෙරෙනුයේ, පරිපාලනය හා සම්බන්ධව, කුමන පුද්ගලයාව, කුමන ස්වරූපයකින් නියෝජනය කන්නේද යන්න එකී තාක්ෂණය මඟින් නූතනයේ තීරණය කෙරෙන බැවිනි.

මෙහිදී මෙකී තත්වයන්ගෙන් බැහැරව හුදෙක් දැනුම නිෂ්පාදනය සඳහා ඡායරූ භාවිත කෙරෙන බ්ලොග් අවකාශ ද තිබෙන අතර කිසිදු ඡාරූපයක් භාවිත නොකරන බ්ලොග් අඩවි ද තිබේ. කෙසේ වුවත්, ප්‍රතිරූප මැවීමට, උපහාසය දැනවීමට, තොරතුරු විවිධ මතවාද තහවුරු වෙන පරිදි ඉදිරිපත් කිරීමට, සිංහල බ්ලොග් අවකාශය තුළ ඡායාරූප මාධ්‍යය භාවිත කොට තිබුණේ, පෝල් වැලරි උපුටා දක්වමින් වෝල්ටර් බෙන්ජමින් ප්‍රකාශ කරන තාක්ෂණය මඟින් මිනිසාගේ පරිකල්පනයන් සහ සන්ජානනයන් වෙනස් කරන බව මෙන්ම ටැග් දකින පරිදි එමඟින් යථාර්ථයක් නිරූපණය කිරීමක් නොව, පරිපාලනය හා සම්බන්ධ තවත් එක් නිරූපණයක් පමණක් බව ප්‍රත්‍යක්ෂ කරමින් වේ. මේ සියල්ල හරහා දැනුම සහ ප්‍රචාරණය ලැබුණද බෝඩ්‍රියාඩ් කියන පරිදි මේ සියල්ල තුළ යථාර්ථයක් නොමැති අතර ආකෘතිගත නිරූපණයක්, නියෝජනයක් පමණක් සිදු වන බව පැහැදිළි වේ.

සිංහල බ්ලොග් අඩවිවල වෙළඳ දැන්වීම්

සමහර සිංහල බ්ලොග් අඩවි මුදල් ඉපැයීමේ පරමාර්ථයෙන් සිය බ්ලොග් අඩවිවල වෙළඳ දැන්වීම් පළ කරයි. සමහර බ්ලොග් අඩවිවල වෙළඳ දැන්වීම් පළවන අතර, සමහර බ්ලොග් අඩවිවල වෙළඳ දැන්වීම් පළවන්නේ නැත. සිංහල බ්ලොග් අඩවිවල පළවන වෙළඳ දැන්වීම් දෙස බලන විට බ්ලොග් අඩවියේ ස්වභාවය (එය අයත් ප්‍රවර්ගය) සහ එහි පළ කරන වෙළඳ දැන්වීම්වල ස්වභාවය අතර සම්බන්ධතාවක් පවතින බව පෙනේ. උදාහාරණයක් වශයෙන් ‘ගොසිප් ලංකා’ බ්ලොග් අඩවියේ ප්‍රධාන පාඨකයින් පිළිබඳ උපකල්පන මත එහි පළ කරන වෙළඳ දැන්වීම් නිර්ණය කෙරෙන බව පෙනේ. ගොසිප් ලංකා බ්ලොග් අඩවියේ දක්නට ලැබෙන බොහෝ වෙළඳ දැන්වීම් පාරිභෝගිකයන් වශයෙන් කාන්තාවන් ඉලක්ක කර ගන්නා බව පෙනෙන අතර මේ හරහා පාඨකයින්ගේ පරිභෝජන රටාවලට යම් බලපෑමක් ඇති කිරීමට උත්සහ ගැනෙන බව පෙනේ. මෙම බ්ලොග් අඩවියේ විවාහයට සහකරුවකු සොයා ගැනීමට ලියාපදිංචි විය හැකි ‘ශ්‍රි ලංකා මැට්රිමොනි’ වැනි ආයතනවල දැන්වීම්, උසස් අධ්‍යාපන ආයතනවල දැන්වීම්, ලග්න පලාපල දැනගැනීමට යොමු විය හැකි වෙබ් අඩවිවල දැන්වීම්, මීයන්/කැරපොත්තන් වැනි සතුන්ගේ උවදුරුවලින් මීදීම හෝ සුරතල් සතුන්ගේ ලෙඩ රෝගවලට ප්‍රතිකාර ලබාගැනීම වැනි ගෙදරදොර අවශ්‍යතා සපුරා ගැනීම සඳහා යොමු විය හැකි ආයතනවල දැන්වීම් වැනි වෙළඳ දැන්වීම් බහුලව දැකිය හැක. බ්ලොග් අඩවියේ වෙළද දැන්වීම් හරහා එම දැන්වීම අයිති වෙළඳ සමාගමේ ප්‍රධාන වෙබ් අඩවියට සෘජු ලෙස යොමු වීමේ පහසුකම් සලසා ඇත. මේ අනුව වෙළඳ සමාගම් සහ පාරිභෝගිකයන් අතර තොරතුරු හුවමාරුව පහසුවෙන් සිදුකිරීම සඳහා නව අවකාශයක් බ්ලොග් අඩවි හරහා නිර්මාණය වී ඇත. එමෙන්ම වෙළඳ දැන්වීම් බ්ලොග්කරුවන්ට මුදල් ඉපැයීමේ මාර්ගයක් ද සලසා ඇත. නමුත් වානිජමය පරමාර්ථවලින් බැහැරව වෙළඳ දැන්වීම් කිසිවක් පළ නොකරන සිංහල බ්ලොග් අඩවි ද දක්නට ලැබේ.

සමාලෝචනය

පිවිසීමේ පහසුව, අලුත් මෙන්ම පරණ තොරතුරු ද ඉක්මනින් ලබා ගත හැකි බව, අදහස් ප්‍රකාශ කීරීමට ඇති නිදහස, නිර්නාමික වීමට ඇති හැකියාව, ප්‍රසිද්ධ මාධ්‍යයේ ප්‍රතිචාර දැක්වීමේදී භාෂා භාවිතය හා සම්බන්ධ ප්‍රමිතීන්ට අනුගත වීම අත්‍යවශ්‍ය නොවීම වැනි ලක්ෂණවලින් නිර්වචනය කළ හැකි බ්ලොග් අඩවි, අන්තර්ජාලය භාවිතාකරන්නන්හට අලුත් අත්දැකීමක් ලබා දී ඇත. සිංහල භාෂාවෙන් බ්ලොග්කරණය ආරම්භ වීමත් සමඟ සිංහලෙන් කියවන පාඨකයන්ට තමන්ට සමීප මාතෘකා පිළිබඳ තොරතුරු කියවීමට මෙන්ම තම අදහස් තමන්ට පහසු භාෂාවෙන් ලෝකයා හා බෙදා ගැනීමට, ලෝකයේ ඕනෑම තැනක සිට පිවිසිය හැකි මාධ්‍යයක් විවෘත කර ඇත. ලේඛකයන්, පාඨකයන්, විචාරකයන්, නිෂ්පාදකයන්, සේවා සපයන්නන්, පාරිභෝගිකයන් වැනි බොහෝ පාර්ශ්ව අතර බල ධූරාවලි පහත හෙළමින්, සිංහලෙන් කියවන ඕනෑම අයෙකුට තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ලබාදෙමින්, අලුත් ආකාරයේ සම්බන්ධතා ගොඩනැංවීම සඳහා අලුත් අවකාශයක් සිංහල බ්ලොග් අඩවි හරහා නිර්මාණය වී ඇත. එමෙන්ම සිංහලෙන් කියවන පාඨකයන්ට සිංහල බ්ලොග් අඩවි හරහා අන්තර්ජාලය සිය මාධ්‍යය භාවිතයේ අංගයක් කරගැනීමට හැකි වී ඇත.

ආශ්‍රිත පාඨ

Jean Baudrillard, “Simulacra and Simulations”, 1998.

Walter Benjamin, “The Work of Art in the Age of Mechanical Reproduction”, 1935.

Siegfried Kracauer, “Photography”, 1927.

ස්තූතිය

සිංහල බ්ලොග් අඩවිවල ආරම්භය පිළිබඳ තොරතුරු ලබාදුන් තිළිණ ගුණසේකර සහ මලින්ත සමරකෝන් හට බෙහෙවින් සිතූතිවන්ත වෙමු.

ක‍ටුගහ සහ මිත්‍යාමය භූමිය (Katugaha + Mythical landscapes) : කොළඹ සස්කියා ප්‍රනාන්දු කලාගාරයේ පැවැත්වූ පාල පොතුපිටියගේ කලා ප්‍රදර්ශනය පිළිඹඳ විමසීමක් – 2011

නිරෝෂා රුවන්පතිරණ

හැඳින්වීමPala Pothupitiya

යුද්ධය අවසන් වී වසරකටත් අධික කාලයක් ගත වුවද යාපනයේ ජනජීවිතය සාමාන්‍ය සහ අසාමාන්‍යය අතර දෝලනය වන ව්‍යකූලත්වයක් දරයි. නොසන්සුන් බවකින් සන්නද්ධ වූ යාපන අර්ද්වීපය විටෙක සිංහල, ද්‍රවිඩ රුධිර විලක් මැද බිහිසුන් පරිස්ථානීය අවකාශයකි. එහිදී භූමිය අත්පත් කර ගැනීම වෙනුවෙන් එකිනෙකා පරයා සටහන්කල සිංහල, ද්‍රවිඩ ගැටුම හේතුවෙන්, එහි ගොඩනැගිලි තවමත් යුද්ධය නැමති වසංගතයේ සලකුණු දරන අතර බහුතරයක් ජනතාව සරණාගත කඳවුරුවල දුක්ඛිත ජීවිතයට තවම සමුදී නැත. නමුත් යාපන ප‍්‍රදේශයෙන් පරිබාහිරව ජිවිතය ගෙවන්නන්ගේ පරිකල්පනය වන්නේ, යාපනය සහ ලංකාවේ උතුරු ප‍්‍රදේශය වර්තමානය වන විට අනෙකුත් ප‍්‍රදේශන් මෙන් සශ‍්‍රීකත්වයෙන් අනුන සිනහව සතුට රජයන පාරාදීයක් බවය නමුත් එය යථාර්තයක් නොව බව පෙන්වීමටත්, එම සිතිවිල්ල හුදෙක් පුද්ගල මනසේ මිත්‍යාවක් බව සනාථ කිරීමත් පාල පොතුපිටිය කලාකරුවාගේ අභිප‍්‍රාය විය.

ශ‍්‍රී ලාංකේය සන්දර්භය තුළ දේශපාලන ප‍්‍රචණ්ඩත්වය වඩාත්ම පුළුල් ලෙස ගබඩාවී ඇති මාධ්‍යය දෘශ්‍ය කලාවයි (පෙරේරා 2007:7). පාල පොතුපිටිය යනු එම දෘශ්‍ය කලාවේ නූතනත්වය සංකේතවත් කරන්නෙකි. අනුව දශකයේ අගභාගයේ ශ‍්‍රී ලංකාවේ දෘශ්‍ය කලාවේ නූතනත්වය පිළිබිඹු කරන ඔහු 90 ප‍්‍රවණතාවයෙ සිත්තරුන්ගේ පොදු තේමාවන් තම රුචිකත්වයට ග‍්‍රහණය කරගත් කලා ශිලිපියෙකි. එනම් යුද්ධය සහ සංවිධානගත දේශපාලන අපරාධ යාන්ත‍්‍රණය ඉදිරියේ අපේක්ෂාභංගත්වයට සහ අසරණබාවයට පත් සමාජයක පැවැත්ම 90 දශකයේ නිර්මාණකරනයේ වැදගත් තේමාවක් වූ අතර පොතුපිටිය එම ආභාසය මෙම කලා ප‍්‍රදර්ශනය තුළින් නිරූපනය කරන්නට උත්සාහ කළේය.

බලය, යුද්ධය, ජනවාර්ගිකත්වය, ආගමික විෂමතාවය, තුලින් ගොනැගුණු ප‍්‍රචණ්ඩත්වය (violence)සහ සමකාලින ශ‍්‍රී ලංකාවේ මතවාදී රාජ්‍යය යාන්ත‍්‍රණය (Ideological State Apparatus) පිළිබිඹු කිරීම උදෙසා ‘‘කටුගස සහ මිත්‍යාමය භූමිය” (Katugaha + Mythical Indscapes) කලා ප‍්‍රදර්ශනය දියත් කළේය. එහිද 2011 ජනවාරි මස 16 වන දින සිට ජනවාරිමස 31 වනදින දක්වා කොළඹ 07 සස්කියා ප‍්‍රනාන්දු කලාගාරයේ (SASKIA FERNANDO GALLERY) කලාකෘතීන් 22 ක් ආශ‍්‍රයෙන් පවත්වන ලදි. එහිදී කලාකෘතීන් 21 න් ඇක‍්‍රලික් නම් දියසායම් භාවිත කරමින් නිර්මාණය කල අතර ඔහු විසින් නිර්මාන්‍ය කරන ලද මිත්‍යාමය සත්වයකුගේ ස්ථාපන රුවක් ද දැකගත හැකිවිය.

කලාකරුවාගේ අභිප‍්‍රාය සහ නිරූපිත තේමාවන් පාඨනය කිරීම

කටුගහ යනු විවිධ අර්ථ දැක්වීම් ලබාදිය හැකි ප‍්‍රපංචයකි. එනම්. එය හුදෙක් කල්පවෘක්‍ෂයේ ප‍්‍රතිවිරුද්ධාත්මක අර්ථය නිරූපනය කරන්නක්ද, ක්‍රෝධය, වෛරය වැනි පෘථග්ජන සිතිවිලි නිරූපනය කරන්නන් විය හැකිය. 1980 ගණන්වල මුල් බාගයේ සිට ශ‍්‍රී ලංකාවේ උතුරු-නැගෙනහිර ප‍්‍රදේශයේ භූමිය අත්පත් කරගැනීම වෙනුවෙන් සිංහල – ද්‍රවිඩ පාර්ශවයන් අතර යුධමය වාතාවරණයක් ඇතිවිය එහි මුඛ්‍ය අරමුණ පාදක කොටගෙන ‘‘භූ-දේශපාලනය’’ (Geo-politics) නම් විස්තෘත තේමාව තුළින් කලාකරුවා සිතුවම නිමවන ලදි. එනම් බි‍්‍රතාන්‍යයන් විසින් යටත්විජිතයක් වශයෙන් මෙරට පාලනය කල කාලය තුළදී තම අණසක සහ ප‍්‍රයෝජනයක් උදෙසා වාර්ගික බෙදාවෙන්කොට පාලනය කිරීම මෙරට ස්ථාපනය කරන ලදි. එම වාර්ගික බෙදා වෙන්කිරීමෙහි අවසන් ඵලය වශයෙන් ද්‍රවිඩ ජනතාව ඊලාම් රාජ්‍යයක අවශ්‍යතාව සනිටුහන් කරන ලදි. යුද්ධය ආරම්භයේ සිටම දශක තුනකට ආසන්න කාලයක් පුරා පැවති බිහිසුණු අත්දැකීම්, එනම් බෝම්බ, කෆිර් මිග් ප‍්‍රහාර, සමූල ඝාතන, ගේ දොර ඉඩකඩම් පුද්ගල දෑස් ඉදිරියේ විනාශවීම, ලේ වැගිරුන මනුෂ්‍ය ඝාතන, ජිවිතයේ හෙට දවස පිළිබඳව පැවති අනපේක්‍ෂිත බාවයක් සිංහල-දමිළ දෙපාර්ශවයටම පොදු අභිනතීන් විය එබැවින් යාපන ජනතාවගේ ශිෂ්ඨාචාරගතවීම පිළිබඳව කලාකරුවා සංකේතිය භාෂාවෙන් සිතුවම් කරයි. ඒ පිළිබඳ පොතුපිටිගේ අදහස වූයේ,

“යුද්ධය කියන්නේ අහිංසක තැනක් නොවේ. ලේ වැගිරෙන, මනුෂ්‍ය ඝාතන සිඳුවන තැනක් ඒ කටුකත්වය තුළින් මට චිත‍්‍රනය කලානම් පේ‍්‍රක්ෂකයන් මෙය පිළිකුල් කරන්න ඉඩ තිබුණි.”

                          (සස්කියා ප‍්‍රනාන්දු කලාගාරය, 22.01.2011)

කලාකරුගේ මෙම අදහසට සමගාමිව පෙරේරා පෙන්වා දෙන්නේ,

‘‘ප‍්‍රචණ්ඩත්වය නිරූපණය කරන කලාකෘතියන් තම පෞද්ගලික එකතුවක හෝ නිවසේ තබා ගැනීමට මැළි කමක් දක්වන්නේ, පරිස්ථානිය ආගමික විශ්වාසයන් තුළ එවැනිනක් අසුබ නිමිත්තක් ලෙස ගැනෙන බැවිනි’’

                                                   (පෙරේරා 2007: 8 )

සංකේතානුසාරයෙන් පුළුල් ප‍්‍රපංචයක් විග‍්‍රහ කරන බැවින් මෙය ඩකයිම්ගේ තෝටම්වාදයේ ආභාසයක්දැයි මට හැඟුණි. මෙහි දී බලය, ප‍්‍රචණ්ඩත්වය විග‍්‍රහ කිරීමේදී පහත කලා කෘතිය පාඨනය කිරීම වැදගත් වෙයි.

clip_image002

රූපය 01

මෙය බූවලෙකුගේ ස්වරූපයෙන් දැකිය හැකි අතර තම ශරීරයෙන් ප‍්‍රදේශයක් ආවරණය කිරීමට බූවල්ලාට හැකියාවක් ඇත. එනම් මෙහි රතුපැහැති දුම්කෝවක් යැයි සිතිය හැකි රුව තුලින් රුධිරය සංකේතවත් විය හැකිය. එනම් යුද්ධයේ කටුකබව, මිලේච්ඡබව තුළින් ලේ වැගිරුන බවත් ඒවා යාපන පොලව තුළ වෙලාගත් ස්වරූපයන් පෙන්වීමට උත්සාහ කල බව උපකල්පනය කළ හැකිය. සුදු පැහැති සිලින්ඩරාකාර රුව පොලිස් බැටන් පොල්ලක්සේද තවත් විටෙක ශිව ලිංගයක් වශයෙන්ද අනුමාන කළ හැකිය. ශිව ලිංගය යනු ද්‍රවිඩ ජනතාවගේ වන්දනියත්වයට පත්වූ ආගමික සංඛේතයක් වන අතරම දරවැන් නොමැති ස්ත‍්‍රින් එය කිරිවලින් නහවා පානය කිරීමෙන් සඵලතාවයට පත්වන බව ජනවහරේ අදහසකි. මේ අනුව සම්ප‍්‍රදායික කලාව තුළ ශිවලිංගය අර්ථ දක්වා ඇති අදහස් තුලින් මෙම කලාකෘතිය පාඨනය කිරීම වැදගත් වේ. තවද සුදු පැහැයෙන් නිරූපනය කොට ඇති බැවින් එහි ඇති නිර්මලත්වය, පවිත‍්‍රතාවය තවදුරටත් තහවුරු වෙයි. අධිකාරිය ලත්, බලසම්පන්න බාවය පෙන්නුම් කිරීමට පොතුපිටිය, ශිව ලිංගයේ අනුරුව චිත‍්‍රණය කලේ යැයි අවබෝධ වේ. ලොව බලවතා කවුරුන්ද පෙන්වීමට බ‍්‍රහ්ම හංසයා තුළින්ද විශ්ණු ඌරු වෙසින් උත්සාහ දරද්දී ශිව මෙම බලවත් ලිංගය තුළින් ලොවට ජනිත වූ බව හින්දු වැසියන්ගේ මිත්‍යා මතය වේ. මෙම කලා කෘතිය තුළ සිංහ සහ කොටි නියපොතු දක්වා තිබීමෙන් බලවත්බාවය තව දුරටත් සනිටුහන් කරයි. මෙහි වර්ණ භාවිතයේදී රතු, නිල්, සුදු, කහ කලූ වැනි වර්ණ භාවිත කොට ඇති අතර පහළ සිමාවෙහි දුඹුරු, කලූ වැනි වර්ණ යොදාගෙන ඇත. තවද මෙම සුදු පැහැති සිලින්ඩරාකාර රුව පොලිස් බැටන් පොල්ල යැයි අවබෝධ කර ගතහොත් අප‍්‍රිකානු රටවල මෙන් යාපනය ප‍්‍රදේශයේ ජිවත්වන පොලිස්, හමුදා නිලධාරීන්ගේ අඩන්තේට්ටම් වලට ද්‍රවිඩ ස්ත‍්‍රින් ගොදුරු විය හැකි අවස්ථා ඇති බවට මෙම සිතුවම පාඨනයේදී මට වැටහෙයි. එනම් බලවත් අධිකාරියක් ඉදිරියේ නිර්ප‍්‍රභූන්ගේ (subaltern) සමාජ තත්ත්වය බූවල්ලෙකු මෙන් සමාජය පුරා සංසරණය වී ඇති බව පූර්ව රූපාර්ථවේදී පාඨනය තුළදී ආකේත (encodes) විකේතනය (decode) කරමින් විග‍්‍රහ කල හැකිය.

සම්පූර්ණ ලිපිය පහත යොමුවෙන් ලබාගන්න.

නගරය පිළිබඳ ඉදිරිපත් වී ඇති විවිධ න්‍යායන් විවේචනාත්මකව සාකච්ඡා කිරීම

එම්.ජී.එල්.එම්. පේ‍්‍රමරත්න

Colombo-2

මානව සමාජය පිළිබඳ සමාජ විද්‍යාත්මකව අවබෝධ කරගැනීමේදී මිනිසා ජීවත්වන සමාජ අවකාශය පිළිබඳව අවබෝධ කරගැනීම වැදගත් වේ. එවැනි ආකාරයට මිනිසා ජීවත් වන ප‍්‍රධාන සමාජ අවකාශයක් ලෙස ‘නගරය’ දැක්විය හැකිය. නගරය යන සංකල්පය නිර්වචනය කිරීමේදී ලෝකයේ විවිධ රටවල් විවිධ සාධක කෙරෙහි අවධානය යොමු කරන බව දැකිය හැකිය. එහිදී නාගරික ප‍්‍රදේශයක සිටින ජන සංඛ්‍යාවත්, පරිපාලන කටයුතු ඒකරාශීවීමත්, නිවාස සංඛ්‍යාවත්, කෘෂි කාර්මික නොවන ‍රැකියාවල නිරතව සිටින පිරිමින් ප‍්‍රමාණය හෝ ආර්ථික කටයුතු යනාදීය ඇතුළත්ව තවත් විවිධ කරුණු මත නාගරික ප‍්‍රදේශයන් පිළිබඳව නිර්වචනය කිරීම සිදු කරනු ලැබේ (මානවඩු හා ලියනගේ 2008: 16 – 18). බුෂානා (1994) දක්වන්නේ නගරයක් යනු “කෘෂි කාර්මික නොවන ‍රැකියාවල යෙදී සිටින, කුඩා භූගෝලීය ප‍්‍රදේශයකට මිනිසුන් කේන්ද්‍රගත වී පදිංචිව සිටින ප‍්‍රදේශයක්” බවයි. ඉහත නිර්වචනයන් දෙස බලනවිට දැකිය හැක්කේ නගරයක් යන්න විවිධ වූ සාධක පදනම් කරගෙන නිර්වචනය කර ඇති අතර, නගරය විවිධ සමාජ අන්තර් කි‍්‍රයාවන් සිදුවන සංකීර්ණ සමාජ අවකාශයක් බවයි.

ඉහත ආකාරයට නිර්වචනය කරන ලද නාගරික සමාජ අවකාශය වෙත ජනගහනය සැලකිය යුතු ප‍්‍රමාණයකින් ඒකරාශීවීම සිදුවන බව දැකිය හැකිය. එක්සත් ජාතීන්ගේ සංගමය (2002) දක්වා ඇත්තේ දැනට ලෝකයේ ජීවත්වන මුළු ජනගහනයෙන් 48% ක් නාගරිය යැයි සම්මත ප‍්‍රදේශවල ජීවත්වන බවයි (උපුටා ගත්තේ ද සිල්වාගෙනි 2004: 190). ලෝකයේ නාගරික ජනගහනයේ ප‍්‍රතිශතය 1950 වන විට 30% ක් වූ අතර, එය 2000 වන විට 47% ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, අනාගත ප‍්‍රක්ෂේපණ වලට අනුව ලෝකයේ නාගරික ජනගහනයේ ප‍්‍රතිශතය 2030 වනවිට 60% ඉක්මවන තත්ත්වයක් පෙන්නුම් කෙරේ (ද සිල්වා 2004: 195). මෙම දත්ත අනුව බලනවිට පෙනීයන්නේ අනාගතයේදී සමස්ත ලෝක ජනගහනයෙන් භාගයකට අධික ජනසංඛ්‍යාවක් නාගරික ප‍්‍රදේශවල ජීවත්වීම සිදුවිය හැකි බවයි. එසේම වර්තමානයේදීද ජනගහනයෙන් භාගයකට ආසන්න ප‍්‍රතිශතයක් නාගරික සමාජ අවකාශය තුළ ජීවත්වන බව දැකිය හැකිය. නාගරික ජනගහනය පිළිබඳව ශ‍්‍රී ලංකාවේ පවතින තත්ත්වය විමසා බලනවිට දැකිය හැක්කේ ද ශ‍්‍රී ලංකාවේ ද නාගරික ජනගහනයේ වර්ධනයක් දැකිය හැකි බවයි. එක්සත් ජාතීන්ගේ සංගමය (2002) දක්වා ඇති ආකාරයට අනුව වසර 2000 දී ශ‍්‍රී ලංකාවේ නාගරික ජන ප‍්‍රතිශතය 22.8% ක් වන අතර, 2010 වර්ෂයේදී 26.4% දක්වා වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කෙරේ (උපුටා ගත්තේ ද සිල්වාගෙනි 2004: 190). මේ අනුව දැකිය හැක්කේ සමස්ත ලෝකයේම නාගරික ජනසංඛ්‍යාවේ සැලකිය යුතු වර්ධනයක් සිදු වී ඇති බවයි. එසේම ශ‍්‍රී ලංකාවේ ද එවැනිම ආකාරයට වර්ධනීය තත්ත්වයක් දැකිය හැකිය.

ඉහත දක්වා ඇති ආකාරයට නාගරික සමාජ අවකාශයක විශාල ජනසංඛ්‍යාවක් මෙන්ම විවිධ සමාජ අන්තර් ක‍්‍රියාවන්ගෙන් සමන්විත වූ සමාජ අවකාශයක් ගොඩනැඟී ඇති බව දැකිය හැකිය. මෙවැනි සංකීර්ණතාවයක් ඇති නාගරික සමාජ අවකාශය පිළිබඳව විවිධ සමාජ විද්‍යාඥයින් හා නාගරික සමාජ විද්‍යාඥයින් විසින් විවිධ වූ න්‍යාත්මක කරුණු හරහා විග‍්‍රහ කර ඇත. මෙම ලිපිය මගින් මූලික වශයෙන් සිදුකරනු ලබන්නේ එවැනි ආකාරයට නාගරික සමාජ අවකාශය පිළිබඳව ඉදිරිපත් වී ඇති විවිධ න්‍යායන් විවේචනාත්මකව සාකච්ඡුා කිරීමයි. එහිදී මෙම ලිපියේ ඉදිරි කොටස්වලින් නගරය පිළිබඳව ඉදිරිපත් වී ඇති සම්භාව්‍ය න්‍යායාත්මක පර්යාවලෝකය පිළිබඳව විවේචනාත්මකව සාකච්ඡුා කිරීමත්, නගරය පිළිබඳව ඉදිරිපත් වී ඇති චිකාගේ ගුරුකුලයේ න්‍යායාත්මක අදහස් පිළිබඳව විවේචනාත්මක විග‍්‍රහයක් හා නගරය පිළිබඳව ඉදිරිපත් වී ඇති නව වෙබර්වාදී හා නව මාක්ස්වාදී න්‍යායාත්මක පර්යාලෝකයන් පිළිබඳව විවේචනාත්මක ඉදිරිපත් කරනු ලැබේ. මෙම ලිපියේ අවසාන කොටසින් සමස්ත ලිපිය පිළිබඳව සමාලෝචනය ඉදිරිපත් කරනු ලැබේ.

ඉතිරියත් කියවන්න – නගරය පිළිබඳ ඉදිරිපත් වී ඇති විවිධ න්‍යායන් විවේචනාත්මකව සාකච්ඡා කිරීම

විශ්වවිද්‍යාල සිසුන්ට හමුදා කඳවුරු තුළ නායකත්ව පුහුණුව ලබා දීම

ස්මෘතියේ වේල්ල ඡායාරූ තාක්ෂණය මඟින් විනාශ කරයිද? -ක්‍රැකවර්ට අනුව කුඩා විශ්ලේෂණයක්

උන්නතී සමරවීරසිග්‍ෆ්‍රීඩ් ක්‍රැකවර්

චිත්‍රපට, ඡායාරූ තාක්ෂණය, තර්කනය, නාගරික අවකාශයේ සැකැස්ම වැනි දේ විශ්ලේෂණය කිරීමට නව න්‍යායාත්මක ක්‍රමවේදයක් ගොඩ නැඟූ සිග්‍ෆ්‍රීඩ් ක්‍රැකවර් සිනමාව විශ්ලේෂණය කළ පළමු චින්තකයා විය. ඡායාරූප තාක්ෂණය පිළිබඳ සාකච්ඡා කරන විට ස්මෘතිය සමඟ සම්බන්ධ කොට ඒ පිළිබඳ ඔහු විසින් ඉදිරිපත් කොට ඇති අදහස් වැදගත් වනුයේ ඡායාරූ පිළිබඳ වෙනස්ම දුෂ්ටියකින් එදිනෙදා පුද්ගල දිවියේ ස්මෘතියට සම්බන්ධ කොට ඔහු විසින් සාකච්ඡා කොට ඇති හෙයිනි.

ඡායාරූප සහ ස්මෘතිය පිළිබඳ සන්සන්දනාත්මක විග්‍රහයක් ගෙන එන ක්‍රැකවර් පෙන්වා දෙනුයේ ඡායාරූ යම් කාල වකවානුවකට අනිවාර්යෙන් අයත් වන අතර එකී කාල සන්තතිය පිළිබඳ සහ එකී යුගයට අයත් භෞතික සමාජ වටපිටාව පිළිබඳ ඉතා නිවැරදි තොරතුරු සමූහයක් ඉන් ලබා දෙන බව වේ. උදාහරණයක් වශයෙන් අපගේ ළමා කාලයේ ඡායාරූපයක් ගත් විට, ඒ යුගයේ ඇඳුම්-පැළදුම්, හිසකෙස් විලාසිතා, පසුබිමේ ඇති දේ අනුව භාවිත කරන ලද භාණ්ඩයන්ගේ ස්වභාවය,  ආදී වශයෙන් එකල පැවති භෞතික තත්ත්වය පිළිබඳ වඩා පුළුල් අවබෝධයක් ලබා ගත හැකි අතර එම ඡායාරූපයේ වර්ණ සංයෝජනය, ආලෝක භාවිතය, සැලසුම්කරණය සහ අවසාන නිමාවන් ආශ්‍රිතව එම යුගයේ තාක්ෂණික තත්ත්වයේ සැබෑ ස්වරූපය වටහා ගැනීමට ද අපට හැකියාව ලැබේ. අපගේ ළමා කාලයේ ඡායාරූපයක් සහ අපගේ දෙමාපියන්ගේ කුඩා කාලයේ ඡායාරුවක් සන්සන්දනය කළ කල්හි මෙම උදාහරණය වඩාත් පැහැදිලි වනු ඇත. නමුත් මානව ස්මෘතිය යන්න මීට වඩා වෙනස් වන බව පෙන්වා දෙන ක්‍රැකවර්,  කෙටි කාලීන සහ  දිගු කාලීන වශයෙන් මනෝ විද්‍යාඥයන් හඳුන්වන මෙම පුද්ගල මතකය තුළ ගබඩා වෙනුයේ එක් එක් පුද්ගලයාට වඩා වැදගත් අවස්ථා සහ සිදුවීම් පමණක් බව ප්‍රකාශ කරයි. එනම්, ස්මෘතිය මඟින් යම් සිදුවීමක් සහ අදාළ සියල්ලම සටහන් කර නොගන්නා අතර එහෙයින්ම පසුව ඒ පිළිබඳ පෘථුල විස්තරයක් ලබා දීමට ස්මෘතියට අපහසු වෙයි. එනමුත් ඊට සාපේක්ෂව ඡායාරුවක් තුළ පුද්ගල මුහුණේ හැඟීම්, අඩුපාඩුකම්, ආදී සියල්ල අන්තර්ගත වන නිසා යම් සිදුවීමක් පිළිබඳව ඡායාරූපයක් තුළින් ලබා ගත හැකි තොරතුරුවල ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය වැඩි බව ක්‍රැකවර්ගේ අදහස වේ. එනමුඳු ඉන් යථාව නිරූපණයක් නොව සිදුවන්නේ යමක් නිරූපණය වීමක් පමණක් යැයි බෝඩ්‍රියාඩ් ගෙන එන අදහස මෙහිදී අපට වැදගත් වනුයේ, ඉතාම දුකින් සිටින පුද්ගලයෙකු පවා සිනාමුසුව ඡායාරුවකට පෙනී සිටිය හැකි නිසාවෙනි. එනම් ක්‍රැකවර් පෙන්වා දෙන පරිදි එමඟින් වඩා විශ්වසනීය සහ ගුණාත්මක තොරතුරු ලබා දිය හැකි වන නමුත් ඉන් යථාව නිරූපණය වීමක් සිදු වෙන බව අපට පැවසිය හැකි නොවේ.

කෙසේවුවත්, විශ්ව විද්‍යාලයේ එක් වසරක සමූහ ඡායාරූපයක් උදාහරණ වශයෙන් ගත් විට ක්‍රැකවර් මතු කරන තර්කය අපට මනාව පැහැදිලි වේ. එනම්, අපගේ සමූහ ඡායාරුව තුළ එම වසරේ එකට ඉගෙනුම ලැබූ සියලුම විද්‍යාර්ථීන් අඩංගු වන නමුත් ඉන් අපගේ ස්මෘතියේ ‍රැ‍ඳෙන්නේ අප සමඟ අන්තර්ක්‍රියා කරමින්, එකට ‍රැ‍ඳෙමින් , අප එකිනෙකාට වැදගත් අය යැයි තනි තනි පුද්ගලයාට හැ‍ඟෙන තැනැත්තන් පමණි. එනම් ඡායාරුවක් මඟින් කාලය සහ අවකාශය වඩා විශ්වසනීයව නිරූපණය වන නමුත් පුද්ගල ස්මෘතියේ ‍රැ‍ඳෙන්නේ නිරන්තරයෙන්ම එක් එක් තනි පුද්ගලයාට වැදගත් දැ පමණක් වේ. මෙහිදී සමහර වැදගත් දේ කාලය සහ අවකාශමය සන්තතියට පමණක් සීමා කළ නොහැකි නිසා ඡායාරුව සහ ස්මෘතිය අතර වෙනස වටහා ගැනීම වැදගත් යැයි ක්‍රැකවර් මතු කරන අදහස ඉතා වැදගත් වේ. එනම්, උදාහරණයක් මඟින් පැහැදිලි කරන්නේ නම්, පෙර සඳහන් කළ සමූහ ඡායාරූපයේම අපගේ ප්‍රියතම ආචාර්යවරයෙකු හෝ සමීපතම මිතුරෙකු හෝ අන්තර්ගත නොවෙන, අදාළ පුද්ගලයා එහි නොමැති වූ පමණින් ඔහු හෝ ඇයට අදාළ මතකයන් අපගේ මතකයෙන් ඈත් නොවේ. මේ අනුව ඡායාරුවකට වඩා පුද්ගල ස්මෘතිය තුළ වැදගත් වන්නේ අදාළ පුද්ගලයාගේ අභිප්‍රේරණ අනුව අදාළ සන්සිද්ධි පමණක් වන බව පැහැදිලිය. නමුත් මෙහිදී ක්‍රැකවර් මතු කරනුයේ, ස්මෘතිය තුළ ගබඩා වී ඇති දෑ විටෙක ක්ෂණිකව  අනාවරණයට අපහසු වන අතර  ඊට නිදහස් කරන ලද විඥානයක් අවශ්‍ය වන බවයි.

මෙහිදී ඓයිතිහාසිකවාදය සහ ඡායාරූප ශිල්පය සම්බන්ධ කරන ඔහු ඒතිහාසිකවාදය තුළ ඉතිහාසය හා සම්බන්ධ සෑම දෙයකම අන්තර්ගත වන්නාක් මෙන් ඡායාරුවකටත් අදාළ අවස්ථාව හා සම්බන්ධ සියල්ල හසුවෙන අතර ඒ සියල්ලම නිරූපණය වෙයි. එනමුත් මීට සාපේක්ෂව පුද්ගල ස්මෘතියට වැදගත් වන්නේ තමා හා බැඳුණු සමාජ සබඳතා, සිදුවීම් පමණි. ක්‍රැකවර් තර්ක කරන පරිදි සත්‍ය හෝ යථාර්ථය ගොඩ නැඟීම යන්නෙහි අර්ථය ඒ හා සම්බන්ධ සියල්ලම ඒකරාශී කොට දැක්වීමම නොවේ. මේ අනුව ඔහු තැත් දරන්නේ ඡායාරූ මඟින් පුද්ගල ස්මෘතිය අභිබවා යෑමට දරණ සමාජ තත්ත්වය විවේචනය කිරීමට වේ. එහිදී ඡායාරූ ගැන්ම මඟින් පුද්ගල ස්මෘතියේ වේල්ල විනාශ කරන බවට ඔහු අදහසක් ගෙන එයි. නමුත් බ්‍රෙෂ්ට් වැනි චින්තකයන් තර්ක කරනුයේ පුද්ගල ස්මෘතිය සඳහා ඡායාරූ අවශ්‍ය බවට වේ. කෙසේ හෝ ක්‍රැකවර් ගෙන එන තර්කය එදා ඔහු ජීවත් වුණු සමාජයට මෙන්ම නූතන සමාජයටත් එක ලෙස සමාන වන තත්ත්වයක් යැයි අපට තර්ක කළ හැක්කේ වත්මන් මිනිසා ද නිරන්තරයෙන්ම අදාළ අවස්ථාව රසවිඳිමින් , එකී අවස්ථාව ස්වකීය මතකයේ තැන්පත් කර ගන්නවාට වඩා, එය ඡායාරුවකට කැටි කොට ගෙන තමා සන්තකයේ මතකයක් වශයෙන් ‍රැස් කර ගන්නට වැඩි කැමැත්තක් දක්වන බව පෙනී යන හෙයිනි. මේ නිසාම ක්‍රැකවර් දකින පරිදි ස්වකීය පුද්ගල ස්මෘතියට වඩා ඡායාරූ තාක්ෂණයට වැඩි වැදගත්කමක් ලබා දෙන සමාජයක් බිහි වී ඇති බව පැහැදිලි වෙන්නේ, ඡායාරූ මඟින් අපගේ ස්මෘතිය ආක්‍රමණය කොට ඇති බව ප්‍රකට කරමිනි.

event-photography

 

අන්තර්ක්‍රියාව සම්බන්ධ සමාජ නීති

චමත්කා දේවසිරි

(පහත දැක්වෙන්නේ ඇන්තනි ගිඩ්න්ස්ගේ (2006) ‘සෝශිඔලජි’ කෘතියේ ‘සෝශල් ඉන්ට‍රැක්ශ්න් ඇන්ඩ් එව්රිඩේ ලයිෆ්’ පරිච්ඡේදයේ අන්තර්ගත මානවංශක්‍රමවේදය පිළිබඳව දැක්වෙන තොරතුරු කිහිපයක පරිවර්තනයකි.)

අප පුරුද්දක් වශයෙන් අපේ හැසිරීම්වලදී සහ අන් අයගේ හැසිරීම් තේරුම් ගැනීමේදී නිර්වාචික සංඥා උපයෝගී කර ගන්නා නමුත්, අපගේ බොහෝ අන්තර්ක්‍රියා, අන් අය සමඟ කෙරෙන අවිධිමත් සාකච්ඡා තුළ හුවමාරු වන වාචික සංඥාවලින් සිදු කෙරේ. සමාජ ජීවිතයට භාෂාව මූලික වන බව සමාජවිද්‍යාඥයින් සැමවිටම පිළිගන්නා කරුණකි. කෙසේ වෙතත්, මෑතකදී මිනිසුන්ගේ එදිනෙදා සාමාන්‍ය සන්දර්භයන් තුළදී භාෂා භාවිතය ගැන විශේෂයෙන් සැලකිලිමත් වන එළඹුමක් වර්ධනය වී ඇත.

මානවංශක්‍රමවේදය යනු මිනිසුන් අන් අය කරන, විශේෂයෙන් කියන, දේවල්වලට අර්ථයක් දීමට භාවිතා කරන මානවංශ ක්‍රම- සාමාන්‍ය, ජන ක්‍රම- පිළිබඳ අධ්‍යනයයි. මෙම පදය, අප පහත සාකච්ඡා කරන, හැරල්ඩ් ගා’‍ෆින්කල් විසින් එකතු කර හඳුන්වා දෙන ලද්දකි. අපි සියල්ලෝම, සචේතනික අවධානයකින් තොරව මෙම ක්‍රම සාමාන්‍යයෙන් භාවිතා කරන්නමු. බොහෝවිට අපට සාකච්ඡාවකදී කියැවෙන දේ තේරුම් ගත හැකිවන්නේ එය කියැවෙන සමාජ සන්දර්භය අප දන්නේ නම් පමණි. මෙය ඒ ඒ වචන තුළ අන්තර්ගත වී නැති විය හැක. උදාහරණයක් හැටියට මේ සාකච්ඡාව ගමු (හෙරිටේජ් 1985):

A: මට අවුරුදු දහහතරක පුතෙක් ඉන්නවා.

B: ආ, ඒක ප්‍රශ්නයක් නෙවේ.

A: මට බල්ලෙකුත් ඉන්නවා.

B: ආ.. කනගා‍ටුයි ඒ ගැන.

ඔබ සිතන ආකාරයට කුමක්ද මෙහිදී සිදුවන්නේ? මේ දෙදෙනා අතර පවතින සම්බන්ධතාවය කුමක්ද? ඔබට මේ සාකච්ඡාව ගෙවල් හිමියකු සහ ගෙයක් කුලියට ගන්න අපේක්ෂා කරන අයෙකු අතර සිදුවන සාකච්ඡාවක් යැයි කීවොත්? එවිට මෙම සාකච්ඡාව ඔබට තේරුම් ගත හැක්කක් වනු ඇත: සමහර ගෙවල් හිමියෝ දරුවන් සිටින අයට ගෙවල් දෙන නමුත් සුරතල් සතුන් ඇති කරන අයට ගෙවල් දීමට මැලි වෙති. අප මෙම සමාජ සන්දර්භය නොදන්නේ නම්, Bගේ ප්‍රතිචාර Aගේ කියමන්වලට කිසිඳු සම්බන්ධයක් නැතැයි සිතනු ඇත. අර්ථයේ කොටසක් වචනවල ගැබ් වී ඇත. කොටසක් සමාජ සන්දර්භය තුළින් අර්ථය පිළිබිඹු වන ආකාරය තුළ ගැබ් වී ඇත.

සම්මත කරගත් අර්ථ

එදිනෙදා සාමාන්‍ය කතාබහේ කිසිඳු වැදගත්කමක් නැති කථන ස්වරූප තුළින් පවා කථිකයන් විසින් සංකීර්ණ සහ සම්මත යැයි අනුමාන කෙරෙන ඥානය ගෙන හැර දැක්වේ. ඇත්ත වශයෙන් කියතොත්, අපගේ එදිනෙදා කතාබහ පවා ඉතා සංකීර්ණයි. මෙම හේතුව නිසා මිනිසකු සමඟ බොහෝ වේලාවක් දක්ෂ ලෙස සාකච්ඡාවේ යෙදෙන්නට, දැනට පවතින දියුණුම සහ නවීනතම පරිගණක පවා සකස් කළ නොහැකි වී ඇත. එදිනෙදා කතාබහේදී භාවිතා වන වචනවලට සෑමවිටම නිශ්චිත අර්ථ නැත. අපි අපට කීමට අවශ්‍ය දෙය, ඊට පසුබිම් වන, වාචිකව ප්‍රකාශ නොවන උපකල්පන තුළින් ‘සකස් කර’ ගන්නෙමු. මරියා ‘ඊයේ ඔයා මොනවද කළේ?’ කියා ටොම්ගෙන් ඇසුවොත්, එම ප්‍රශ්නයේ වචන තුළින් ඇඟවෙන නිශ්චිත පිළිතුරක් නැත. දවසක් කියන්නේ දිග කාලයක්. එමනිසා, ටොම්ට පහත ආකාරයට ප්‍රතිචාර දැක්වීම තර්කානුකූල විය හැක. ‘මං ඉතිං, 7.16ට ඇහැරුණා, 7.18ට මං ඇ‍ඳෙන් බැස්සා, නාන කාමරයට ගිහිං මං දත් මදින්න පටන් ගත්තා. 7.19ට මං වතුර මල විවෘත කළා…’ එනමුත් මෙම ප්‍රශ්නය තුළින් මරියා බලාපොරොත්තු වන්නේ කුමන ආකාරයේ ප්‍රතිචාරයක් ද කියා, ටොම් සහ මරියාට අනුව මොන මොන ක්‍රියාකාරකම් මේ ප්‍රශ්නයට අදාළ ද කියා, සහ ටොම් සතියේ එක් නිශ්චිත දිනයකදී සාමාන්‍යයෙන් කරනා දේවල් මොනවාද කියා අපි තේරුම් ගන්නෙමු.

ගා’‍ෆින්කල්ගේ අත්හදා බැලීම්

clip_image001

අප අපගේ සාමාන්‍ය සාකච්ඡා සංවිධානය කරගන්නා ‘පසුබිම් අපේක්ෂාවන්’ හැරල්ඩ් ගා’‍ෆින්කල් (1963) තම ශිෂ්‍යයන් සමඟ සිදුකළ අධ්‍යනයන් තුළින් ඉස්මතු කර දක්වා ඇත. මෙම ශිෂ්‍යයන්ට මිත්‍රයෙකු හෝ ඥාතියකු සමඟ සාකච්ඡාවක යෙදෙමින්, එහිදී කියැවෙන සාමාන්‍ය ප්‍රතිචාර සහ කියමන් තුළින් මතුවන අර්ථ නිශ්චිත කර ගැනීමට ක්‍රියාකාරී ලෙස යොමු වීමට උපදෙස් දෙන ලදී. අයෙකු ‘සුභ දවසක් වේවා’ යැයි කිවහොත්, ‘මොන ආකාරයේ සුභබවක් ද ඔබ අදහස් කරන්නේ?’, හෝ ‘ඔබ දවසේ කුමන කොටස ගැන ද කතා කරන්නේ?’ යන ආදී වශයෙන් ප්‍රතිචාර දක්වන්න යැයි මෙම ශිෂ්‍යයන්ට පවසා ඇත. මේ ආකාරයට සිදුවුණු එක් දෙබසක් පහත දැක්වේ. (S යනු මිත්‍රයෙකි, E යනු ශිෂ්‍යයා ය.)

S: ඔයාට කොහොමද?

E: ඒ කියන්නේ? මගේ සෞඛ්‍ය ද, මගේ මූල්‍යමය තත්ත්වය ද, මගේ පාසල් වැඩ ද, මගේ මානසික තත්ත්වය ද, මගේ..?

S: [මුහුණ රතු වී, කර කියාගත දෙයක් නැතිව]: මේ බලන්න! මං ආචාරශීලී වෙන්න එහෙම ඇහුවෙ. ඇත්තම කියනව නං, ඔයාට කොහොමද කියලා දැනගන්න මට කිසි උවමනාවක් නෑ.

මෙලෙස කථනයේ සුළු සම්මුතීන් අනුගමනය නොකළ විට මිනිසුන් මෙතරම් කලබල වන්නේ ඇයි? මෙයට පිළිතුර වන්නේ, අප පවසන දේවල් සහ ඒවා පවසන්නේ ඇයි ද යන්න සම්බන්ධයෙන්, ප්‍රකාශයට පත් නොකෙරෙන, අප සාමූහිකව පිළිගන්නා, සංස්කෘතික උපකල්පනයන් මත අපගේ එදිනෙදා සමාජ ජීවිතයේ ස්ථාවරත්වය සහ අර්ථවත්භාවය රඳා පැවතීමයි. අපට මේවා දෙන ලද දේවල් වශයෙන් භාරගත නොහැකි නම්, අර්ථවත් සන්නිවේදනය කළ නොහැක්කක් වනු ඇත. ඕනෑම ප්‍රශ්නයකට හෝ සාකච්ඡාවක කොටසකට හෝ අනතුරුව, ගා’‍ෆින්කල්ගේ පර්යේෂණයකදී මෙන්, විශාල ‘ගවේෂණ ක්‍රියාවලියක්’ ඇති වුණ හොත්, අන්තර්ක්‍රියාව කඩා වැටෙනු ඇත. මේ ආකාරයට මුලදී කථනයේ නොවැදගත් සම්මුතීන් වශයෙන් හැඟුණු දේ සමාජ ජීවිතයේ නිර්මාණයට මූලික වන බව අපට පෙනේ. එම නිසා මේවා උල්ලංඝනය කිරීම බරපතළ කරුණකි. එදිනෙදා ජීවිතයේ දී, මිනිස්සු සමහර අවස්ථාවන්හිදී උවමනාවෙන් ප්‍රකාශයට පත් නොකෙරෙන දැනුම පිළිබඳ නොදැනුවත්බවක් මවාපාති. අන් අයට බලාපොරොත්තු නොවූ ආකාරයකට විරෝධය පෑමට, අන් අය විහිළුවට ලක් කිරීමට, අන් අය අපහසුතාවයට පත් කිරීමට හෝ කියන ලද දෙයෙහි වෙනත් අර්ථ කෙරෙහි අවධානය යොමු කරවීමට මිනිස්සු මේ ආකාරයට ක්‍රියා කරති. මවක සහ නව යෞවන වියෙහි පසුවන දරුවකු අතර ඇති වන මෙම සාකච්ඡාව සලකා බලන්න.

මව: ඔයා කොහෙද යන්නෙ?

දරුවා: එළියට.

මව: මොනවද කරන්න හදන්නේ?

දරුවා: මුකුත් නෑ.

මෙම ගැටවරයාගේ ප්‍රතිචාර ගා’‍ෆින්කල්ගේ පර්යේෂණවට සම්පූර්ණයෙන් විරුද්ධ ප්‍රතිචාර වේ. ගා’‍ෆින්කල්ගේ පර්යේෂණයක දී මෙන්, සාමාන්‍යයෙන් නොකෙරෙන ආකාරයට, ප්‍රශ්න කිරීමෙන් බැහැර වන මෙම ගැටවරයා සුදුසු ප්‍රතිචාර දැක්වීම පවා ප්‍රතික්ෂේප කරයි. ඔහුගේ ප්‍රතිචාරවලින් ඉඳුරා ප්‍රකාශ වන්නේ, ‘තමන්ගේ වැඩක් බලාගන්න!’ යන්නයි.

මෙම පළමුවන ප්‍රශ්නයට වෙනත් සන්දර්භයක් තුළ වෙනත් පුද්ගලයකුගෙන් වෙනස් ප්‍රතිචාරයක් ලැබිය හැක:

A: ඔයා කොහෙද යන්නෙ?

B: මං මේ වංගුව වටේට හිමින් යනවා.

B උවමනාවෙන් උපහසාත්මක ලෙස කනස්සල්ලක් ප්‍රකට කිරීමට Aගේ ප්‍රශ්නය වැරදියට අර්ථකථනය කරයි. කථනයේ ප්‍රකාශයට පත් නොවන උපකල්පනයන් උවමනාවෙන් වැරදියට තේරුම් ගැනීම මත හාස්‍යය සහ උපහාසය පෝෂණය වේ. මෙවැනි තත්ත්වයන් තුළ, මෙය සිනහව ඉපැදවීමට ගැනෙනා උත්සහයක් බව අදාළ පාර්ශ්වයන් දන්නේ නම්, අවදානම් සහගතබවක් නැත.

කාල් මෑන්හයිම්ට අනුව ‘සිතීම’ යනු කුමක්ද?

චමත්කා දේවසිරිclip_image002

කොළඹ විශ්වවිද්‍යාලයේ සිව්වන වසරේ ඥානය පිළිබඳ සමාජවිද්‍යාව පාඨමාලාවේ අමතර කියැවීම් වශයෙන් නිර්දේශිත කාල් මෑන්හයිම්ගේ ‘අයිඩියලොජි ඇන්ඩ් යුටෝපියා’ කෘතියේ, මිනිස් සිතීමේ සමාජයීය ප්‍රභවය පිළිබඳ කියැවෙන උද්ධෘත කිහිපයක් පරිවර්තනය කර දැක්වීමට කැමැත්තෙමි. හන්ගේරියාවේ උපන් යුදෙව් ජාතික කාල් මෑන්හයිම් ඥානය පිළිබඳ සමාජවිද්‍යාවේ වර්ධනයට දැඩි බලපෑමක් ඇති කළ සමාජ විද්‍යාඥයෙකි. ‘අයිඩියලොජි ඇන්ඩ් යුටෝපියා’ (1936) ලිවීමදී මෑන්හයිම්ගේ අරමුණ වූයේ "පොදු ජීවිතය තුළ සහ දේශපාලනය තුළ සාමූහික ක්‍රියාකාරීත්වයේ මෙවලමක්" වශයෙන් "සිතීම" ක්‍රියාකාරී වන ආකාරය විමර්ශනය කිරීමයි.

  • "ඥානය පිළිබඳ සමාජවිද්‍යාවේ මූලික තර්කය වන්නේ සමාජයීය ප්‍රභවයන් නොපැහැදිලිව සහ සැඟවී පවතින තාක්කල්, නිවැරදිව තේරුම් ගත නොහැකි, සිතීමේ ක්‍රම තිබෙන බවය" (පි. 2).
  • "සිතීමේ හැකියාව ඇත්තේ පුද්ගලයාට පමණක් බව ඇත්තෙන්ම සත්‍යයකි. පුද්ගලයන්ගේ ඔළුවලට උඩින් හා ඔවුන් වෙනුවෙන් සිතන්නාවූ සහ පුද්ගලයා හුදෙක් එහි අදහස් ප්‍රතිනිශ්පාදනය කරන්නාවූ සාමූහික මනස වැනි පාරභෞතික වස්තුවක් නැත. ඒ කෙසේ වෙතත්, මේ තුළින් පුද්ගලයකු පොළඹවන්නාවූ සියලු අදහස්වල සහ භාවයන්වල ප්‍රභවය ඔහු තුළම ඇතිවන බවත්, ඒවා නිවැරදිව අර්ථ දැක්විය හැක්කේ හුදෙක් ඔහුගේ ජීවන අත්දැකීම් මත පදනම් වී බවත් යන නිගමනයන්ට එළැඹීම වැරදිය" (පි. 2).
  • "එක් පුද්ගලයෙක් නිරීක්ෂණය කිරීමෙන් පමණක් භාෂාවක් තේරුම් ගැනීමට හෝ අත්පත් කර ගැනීමට ගන්නා උත්සහය වැරදි වන සේ ම (මන්ද යත්, ඔහු කථා කරන්නේ ඔහුට මාර්ගය සකසා දුන් සමකාලීනයන් සහ පූර්වකාලීනයන්ගේ භාෂාවක් මිස, ඔහුගේම භාෂාවක් නොවන නිසා), එක් පුද්ගලයකුගේ මනස තුළ යම් දෘෂ්ටියක සම්භවයට පමණක් අදාලව එම දෘෂ්ටියේ සමස්තය තේරුම් කිරීම වැරදිය" (පි. 2-3).
  • "ඔහු කථාකරන්නේ ඔහුගේ සමූහයේ භාෂාවයි; ඔහු සිතන්නේ ඔහුගේ සමූහය සිතන ආකාරයටයි" (පි.3).
  • "ඔහුට ඔහුගේ ප්‍රයෝජනය සඳහා සොයාගත හැක්කේ සමහර වචන සහ ඒවායෙහි අරුත් පමණකි. මේවා අවට ලෝකය වෙත එළැඹීමට ඇති ප්‍රවේශ මාර්ග විශාල වශයෙන් නිර්ණය කරනවා පමණක් නොව, මෙතෙක් දුරට යම් යම් දේවල් සමූහයට හෝ යම් පුද්ගලයකුට ඉන්ද්‍රියගෝචර වී ඇත්තේ, එයට ළඟා විය හැකි වී ඇත්තේ කුමන කෝණයන්ගෙන්ද සහ ක්‍රියාවේ කුමන සංදර්භයන් තුළද යන්නද ඒත් සමඟම පෙන්වා දෙයි" (පි.3).
  • "ඥානය පිළිබඳ සමාජවිද්‍යාව උත්සහ කරන්නේ පුද්ගලික වශයෙන් වෙනස් වූ සිතීම් හුදෙක් ඉතා සෙමින් සහ ක්‍රමිකව මතුවන්නාවූ, ඓතිහාසික- සමාජයීය තත්ත්වයක සංයුක්ත වාතවරණයක් තුළ සිතීම තේරුම් ගැනීමටයි. මේ අනුව, සිතන්නේ සාමාන්‍ය වශයෙන් මිනිසුන් නොව, සිතීම සිදුකරන්නේ හුදෙකලා වුණු පුද්ගලයින් ද නොව, සිතීම සිදුකරන්නේ යම් නිශ්චිත අවස්ථාවන්වලට ප්‍රතිචාර දැක්වීම සඳහා තම සාමූහික තත්ත්වය පිලිබිඹු කරන්නාවූ නිමක් නැති ප්‍රතිචාර මාලාවක් තුළින් සිතීමේ යම් විලාශයක් ගොඩනඟා ගෙන ඇති යම් සමූහයක මිනිසුන්ය" (පි. 3).

clip_image004

  • "වඩා නිවැරදිව කිවහොත්, එක් පුද්ගලයෙක් සිතනවා යැයි කීම වැරදිය. යම් පුද්ගලයෙකු ඔහුට පෙර අන් අය විසින් සිතා ඇති දේ තව දුරට සිතීම සඳහා සහභාගී වෙනවා යැයි කීම වඩා නිවැරදිය. ඔහු යම් අවස්ථාවකට ඔබින සිතීමේ රටාවන් සමඟ යම් උරුම වූ අවස්ථාවකට මුහුණ දෙන අතර ඔහු උරුමයෙන් ලද ප්‍රතිචාර විධි මත විස්තාරණය කිරීමට උත්සහ කරයි, එසේත් නැතිනම්, සිය අවස්ථාවේ වෙනස්වීම් නිසා උද්ගත වී ඇති අළුත් අභියෝගවලට වඩා උචිත ලෙස මුහුණ දීම සඳහා වෙනත් ප්‍රතිචාර ආදේශ කිරීමට උත්සහ කරයි. මේ අනුව සෑම පුද්ගලයකුම යම් සමාජයක් තුළ හැඳී වැඩීම හේතුවෙන් දෙආකාරයකින් පූර්වනිර්ණයකට පාත්‍ර වී ඇත: එක් අතකින් ඔහුට හමුවන්නේ කලින් සකස් කරන ලද අවස්ථාවන් ය, අනෙක් අතට ඔහුට එම අවස්ථාව තුළ කලින් සකසන ලද සිතීමේ සහ ක්‍රියා කිරීමේ රටාවන් ද හමු වේ" (පි. 3).
  • "සමූහයක ජීවත් වන මිනිසුන් හුදෙක් වෙන් වූ පුද්ගලයන් ලෙස භෞතික වශයෙන් පවතිනවා පමණක් නොවේ. එමෙන්ම ඔවුන් අවලෝකනය කරන්නාවූ මනසක් වැනි යමක වියුක්ත මට්ටම් තුළින් ලෝකයේ වස්තූන් හා නොගැටෙන්නා සේම, ඔවුන් එය කරන්නේ විශේෂයෙන් හුදෙකලා වුණු ජීවීන් වශයෙන් ද නොවේ. ඊට පරස්පරව, මිනිස්සු නන් අයුරින් සංවිධානය වූ සමූහ තුළ එකිනෙකා සමඟ සහ එකිනෙකාට විරුද්ධව කටයුතු කරන අතරම, එකිනෙකා සමඟ සහ එකිනෙකාට විරුද්ධව සිතීම ද සිදු කරති. සමූහවලට බැඳී පවතින මෙම පුද්ගලයෝ තමන් අදාල වන සමූහවල ලක්ෂණවලට සහ තත්ත්වයන්ට අනුකූල වන පරිදි අවට ලෝකයේ ස්වභාව ධර්මය සහ සමාජය වෙනස් කිරීමට හෝ යම් තත්ත්වයක පවත්වා ගැනීමට හෝ උත්සුක වෙති. මෙම සාමූහික ක්‍රියාවලිය තුළ වෙනස් කිරීමට හෝ යමක් ඒ ආකාරයෙන්ම පවත්වා ගැනීමට ඇති අභිමතයේ මෙහෙය වීම, ඔවුන්ගේ ප්‍රශ්න, ඔවුන්ගේ සංකල්ප, සහ ඔවුන්ගේ සිතීමේ විධි උපදවන්නාවූ මෙහෙයුම් සාධකය සම්පාදනය කරයි" (පි.3-4).

ඡායාරූප මගින් තොරතුරු සමාජය නිරූපනය වන ආකාරය (කොළඹ නාගරික සමාජ අවකාශය ඇසුරෙන්)

එම්.ජී.එල්. මහේෂ් පේ‍්‍රමරත්න

එස්. ජගන් ප‍්‍රකාශ්

හසිත පීරිස්

පී.ජී. පබසරා සෙව්වන්දි

එෆ්. සරුනා

ටී. ගයාෂාණි ප‍්‍රනාන්දු

හැඳින්වීම

පුද්ගලයන් ජීවත්වන සමාජ සන්දර්භ පිළිබඳව අවබෝධ කරගැනීමේදී ”තොරතුරු සමාජය” යන සංකල්පය වැදගත් වේ. විකිපීඩියා විශ්ව කෝෂය තොරතුරු සමාජය යන්න නිර්වචනය කර ඇත්තේ ”සුවිශේෂ ආර්ථික, දේශපාලන හා සංස්කෘතික කි‍්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු නිර්මාණය කරන, බෙදාහරින, භාවිත කරන, අනුකලයන කරන හා නිරූපණය කරන සමාජයක් ලෙසය” (විකිපීඩියා විශ්ව කෝෂය 2011). මෙම නිර්වචනය අනුව දැකිය හැක්කේ තොරතුරු සමාජය තුළ විවිධ සමාජ ක‍්‍රියාකාරකම් සිදුවන අතර, එම කි‍්‍රයාකාරකම් හා තොරතුරු විවිධාකාරයෙන් බැඳී ක‍්‍රියාත්මක වන බවයි. මෙහිදී තොරතුරු යනු ”හුදෙක් අන්තර්ජාලය පමණක් නොව, විවිධ මාධ්‍යවල බලපෑම හෝ විවිධ නිෂ්පාදන මාධ්‍ය පිළිබඳ කතිකාවක් ද වේ” (විකිපීඩියා විශ්ව කෝෂය 2011). ඉහත සමස්ත අදහස් දැක්වීමට අනුව දැකිය හැක්කේ තොරුතුරු සමාජය යනු විවිධ සමාජ ක‍්‍රියාකාරකම් සම්බන්ධව, විවිධ ජන සන්නිවේදන මාධ්‍යයන් මගින් තොරතුරු මත පදනම් වී ක‍්‍රියාත්මක වන සමාජ ව්‍යූහයක් බවයි.

මෙම ලිපිය මගින් මූලික වශයෙන් කොළඹ නගරය තුළ 2011 වර්ෂයේ පෙබරවාරි මස 08 දින පෙ.ව. 9.30 සිට 11.30 දක්වා කාලය අතරතුර ගත් ඡායාරූප මත පදනම් වී කොළඹ නාගරික සමාජ අවකාශය තුළ ඉහත අර්ථ දක්වන ලද තොරතුරු සමාජය ක‍්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ විශ්ලේෂණාත්මක ඉදිරිපත් කිරීමක් සිදු කරනු ලැබේ. නමුත් මෙම ඡායාරූප තුළට කොළඹ නාගරික සමාජ අවකාශය තුළ පවතින සෑම සමාජ සන්දර්භයක්ම ඇතුළත් නොවන බවත්, ප‍්‍රධාන වශයෙන්ම ශ‍්‍රී ලංකා මධ්‍යම බස් නැවතුම්පල අවට ප‍්‍රදේශය පමණක් මෙම විශ්ලේෂණයට ඇතුළත් වී ඇති බව සැලකිය යුතුය. මෙම විශ්ලේෂණයේ ඉදිරි කොටසින් මෙම සමාජ අවකාශය තුළ තොරතුරු සමාජය ක‍්‍රියාත්මක වූ විවිධ ස්වරූපයන් පිළිබඳව ඉදිරිපත් කරන අතර, අවසානයේදී සමස්තය පිළිබඳ සමාලෝචනයක් ද ඉදිරිපත් කෙරේ.

කොළඹ නාගරික සමාජ අවකාශය තුළ තොරතුරු සමාජය කි‍්‍රයාත්මක වූ ආකාරය

clip_image002

Anne Mcclintock (1995) දක්වා ඇත්තේ ගෝලීය වෙළඳ දැන්වීම්, යුරෝපයේ අධිරාජ්‍යයන්ගේ රුචිකත්වය හා ඔවුන්ගේ ව්‍යාප්තිය සඳහා දැන්වීම් මාධ්‍ය යොදාගත් බව දක්වයි (උපුටා ගත්තේ Neloufer De Mel ගෙනි 56). මෙම ඡායාරූපයෙන් ද දැක්වෙන්නේ කාර්යබහුල වීදියක්දී දේශපාලන මතවාදය ජනතාව වෙත පොස්ටර් මාධ්‍ය උපයෝගි කරගෙන ප‍්‍රචාරණය සිදු කෙරෙන ආකාරය වේ.

clip_image002[4]

අතිශය කාර්යබහුල සංඝරාජ මාවතෙහි පිහිටි පොදු වෙළඳපලෙහි සපත්තු වෙළඳසැලක වෙළෙන්දෙක් කොතරම් කාර්යබහුල පුද්ගලයෙකු වුවද ලැබෙන විවේකය තුළ දී මුදිත මාධ්‍යට අයත් වන පුවත්පත් මාධ්‍ය උපයෝගි කරගෙන තොරතුරු ලබාගන්නා ආකාරය නිරූපනය වේ.

clip_image002[6]

ඉතා කාර්යක්ෂම හා පහසු ක‍්‍රමයකින් ක‍්‍රිකට් වැනි ජනප‍්‍රිය ක්ෂේත‍්‍රයන් හා ජනපි‍්‍රය පුද්ගලයන් උපයෝගී කරගෙන වෙළඳ ප‍්‍රචාරණය හරහා ජනතාව වෙත තෙරතුරු සන්නිවේදනය කිරීමේ අවස්ථාවක් මෙම ඡායාරූපයෙන් දැක්වේ.

clip_image002[8]

කාර්යබහුල වීදියක පුද්ගල චර්යාව පාලනය කිරීම පිණිස තොරතුරු සමාජයේ භාවිතයන් ක‍්‍රියාත්මක වන ආකාරය මෙම ඡායාරූපයෙන් දැක්වේ. මෙහිදී මාර්ග සංඥා පුවරු, රථවාහන අංශයේ පොලිස් නිලධාරියා, මාර්ගයේ කහ ඉර, යකඩ වැඩ වැනි දේ මගින් පුද්ගලයන් මෙම සමාජ අවකාශය තුළ හැසිරිය යුතු ආකාරය පිළිබඳ තොරතුරු සන්නිවේදනය කිරීම සිදු වේ.

clip_image002[10]

සංඝරාජ මාවත තුළ පිහිටි පලතුරු අලෙවිසැලෙක එක් එක් පලතුරුවල මිල ගණන් ප‍්‍රදර්ශනය කරමින් පාරිභෝගිකයා දැනුවත් කරන අන්දම නිරූපනය වේ.

clip_image002[12]

ජංගම දුරකතන අලෙවි සැලක් තුළ පාරිභෝගිකයෙකු විසින් තොරතුරු සමාජය තුළ නූතන තාක්ෂණය සමඟ බැඳී පවතින කාර්යක්ෂම සන්නිවේදනය මාධ්‍යයක් ලෙස භාවිත කරනු ලබන ජංගම දුරකථනයක් පිළිබඳව තොරතුරු විමසන ආකාරය මින් නිරූපනය වේ. මෙහිදී සෘජු වාචික සන්නිවේදනය උපයෝගි කරගෙන මූලික වශයෙන් තොරතුරු හුවමාරු වන ආකාරයක් ද දැකිය හැකිය.

clip_image002[14]

ජනාකීර්ණ වීදියක කාන්තාවක් විසින් පුරුෂයෙකුගෙන් වෙලාව විමසීමෙන් තොරුතුරු සන්නිවේදනය කරගන්නා ආකාරය නිරූපනය වේ.

clip_image002[16]

පුද්ගලයන්ට සංකීර්ණ සමාජ අවකාශයක් තුළ තමන් විසින් යා යුතු දිශාව පිළිබඳ නිවැරදිව තොරතුරු සන්නිවේදනය කරගැනීම අත්‍යවශ්‍ය වන අතර, මෙම ඡායාරූපයෙන් නිරූපනය වන්නේ එලෙස සංකීර්ණ ප‍්‍රවාහන පද්ධතිය තුළ ගමනාගමනය සිදුවන මාර්ගයක් පිළිබඳව තොරතුරු සන්නිවේදනය වන එක් ආකාරයක් පිළිබඳව වේ.

clip_image002[18]

මෙම ඡායාරූපයෙන් දැක්වෙන්නේ මැනිං වෙළඳපොළ හා ඔවුන්ගේ ත‍්‍රීරෝද රථ සේවාව පිළිබඳ පාරිභෝගික ජනතාව දැනුවත් කිරීම හා පාරිභෝගිකයාට තම අදහස් ප‍්‍රකාශ කිරීමට අවකාශයක් සපයා ඇති ආකාරය නිරූපනය කරන බලන ප‍්‍රචාරණ ක‍්‍රමයකි.

clip_image002[20]

ගමන් මළු අලෙවි සැලක් තුළ පුවත්පතක් ඇසුරින් තොරතුරු සන්නිවේදනය කරගැනීමේ අවස්ථාවක් මෙම ඡායාරූපයෙන් දැක්වේ.

සමාලෝචනය

පූර්ව ශිෂ්ටාචාර යුග පසු කරමින් පශ්චාත් නූතන සමාජ තෙක් පියනගා ඇති වර්තමාන සමාජ ලෝකය මේ වන විට ගෝලීයකරණයේත්, උසස් දියුණු තාක්ෂණයේත් පහස අත්විඳිමින් සිටී. එබැවින් සූසන් සොන්ටැග් ද දක්වන පරිදි අතීතයට සාපේක්ෂව තාක්ෂණයේ දියුණුවත් සමඟ ඉතා විශාල ප‍්‍රමාණයේ සිට ඉතා කුඩා පහසුවෙන් රැගෙන යා හැකි මට්ටම තෙක් දියුණුව ඇති කැමරා හරහා ඡායාරූප ලබාගැනීම යන්න ඉතා පහසු දෙයක් බවට පත් වී තිබේ. මෙවැනි තත්ත්වයක් මගින් ලබාගත් ඡායාරූප ඇසුරු කරගනිමින් මෙම ලිපිය මගින් උත්සහ ගනු ලැබුයේ නාගරික සමාජ අවකාශයක් තුළ තොරතුරු සමාජය කි‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ඉදිරිපත් කිරීමට වේ.

මෙම ලිපිය තුළ දක්වන ලද ඡායාරූප මගින් දැකිය හැකි වූයේ වෙළඳ දැන්වීම්, දැන්වීම් පුවරු, ඡායාරූප, පුවත්පත්, වාචික සන්නිවේදනය, සංඥ පද්ධති යනාදී විවිධ සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ජනතාව වෙත තොරතුරු සන්නිවේදනය සිදුවන බවයි. එහිදී මෙම විවිධ මාධ්‍ය උපයෝගි කරගනිමින් දේශපාලන, ආර්ථික හා සමාජ වශයෙන් විවිධ ක්ෂේත‍්‍රයන් පිළිබඳ තොරතුරු සන්නිවේදනය සිදු කර ඇති බව දැකිය හැකිය.

මේ අනුව තොරතුරු සමාජය පිළිබඳ ඉදිරිපත් කළ මෙම ලිපිය මගින් අවසන් වශයෙන් දැක්විය හැකි වන්නේ කොළඹ නාගරික සමාජ අවකාශයක් තුළ දේශපාලන, ආර්ථික, සමාජ හා සංස්කෘතික යනාදී විවිධ ක්ෂේත‍්‍රයන් පදනම් කරගනිමින් විවිධ සන්නිවේදන මාධ්‍ය උපයෝගි කරගනිමින් තොරතුරු සන්නිවේදනය සිදුවීම හෙවත් තොරතුරු සමාජයක් ක‍්‍රියාත්මක වන බවයි.

තොරතුරු සමාජය – ගාලූ මුවදොර ආශ‍්‍රිතව ලබා ගත් ඡායාරූප ඇසුරින්

වර්ණ කුලසූරිය

නිරෝෂා රුවන්පතිරණ

මධුරංගනී පොල්ගොල්ල

දිනූෂිකා ජයලත්

ධම්මිකා ජයසිංහ

clip_image002

හැඳින්වීම

තොරතුරු සමාජයක් (Information Society ) යනුවෙන් අදහස් කරන්නේ තොරතුරු, දැනුම සමඟ සන්නිවේදන තාක්ෂණය එකිනෙකට එකතු වීමයි. තොරතුරු සමාජයක් යන්න විවිධ අදහස් ඉදිරිපත් වී ඇත. එනම්,

“තොරතුරු තාක්ෂණ පශ්චාත් කාර්මීකරණ සමාජයේ සංස්කෘතික දේශපාලනික සහ සමාජීය ජීවිතය විපර්යාසයට ලක් කරයි. පශ්චාත් කාර්මීකරණ සමාජය තොරතුරු නිෂ්පාදනය හා බෙදා හැරීම මත පදනම් වී ඇත” (Webfinance 2011).

එනම් තොරතුරු සමාජයක් තුළ දී සංස්කෘතික, දේශපාලනික, සමාජීය වශයෙන් දැනුම, තාක්ෂණය සමඟ තොරතුරු එකිනෙකට සන්නිවේදනය වේ. මෙහි දී ඩැනියෙල් බෙල් (Daniell Bell) ගේ Coming of post industrial Society (1975) කෘතිය වැදගත් වේ. එහි දී “තොරතුරු සමාජය” යන නව අදහස සමාජය තුළ ඇතිවන ආකාරය ඔහුගේ පශ්චාත් කාර්මීකරණ න්‍යාය තුළින් පෙන්වා දී ඇත. 1980 දී ඔහු තොරතුරු (Facts) හා දැනුම (Knowledge) යන්නට ඉදිරියෙන් පශ්චාත් කාර්මීකරණය යන්න යොදන අතර පරිගණක හා සන්නිවේදන තාක්ෂණය සමග අනාගතවාදය දියුණු වන බව පෙන්වා දෙන ලදි. ඩැනියෙල් බෙල්ගේ මෙම නිර්වචනයට සමගාමීව මැනුවෙල් කැස්ටල්ස් (Manuel Castells) තොරතුරු සමාජයක් යන්න විග‍්‍රහ කරනුයේ,

”තොරතුරු සමාජයේ නව වර්ගයේ සමාජයන් අතුරින් කේන්-ය ස්ථානයක ඇත. නිෂ්පාදනය සහ ආර්ථිකයට තොරතුරු තාක්ෂණය වැඩි වැදගත්කමක් ලබා දෙන අතර තොරතුරු සමාජය කාර්මික සමාජයක් ලෙස දැකිය හැකිය” (Castells 1995).

තොරතුරු සමාජයක් විග‍්‍රහයේ දී ඡායාරූප තුළින් යම් අදහසක් ඉදිරිපත් කිරීම වැදගත් වේ. එහි දී රෝලන්ඞ් බාත්ට අනුව වටහාගත හැකි යම් කිසි කේතයක් සැම විටම ප‍්‍රජානනය සම්බන්ධයෙන් ඇත. එනම් ඡායාරූපයක් තුළින් යම් අදහසක් ඉදිරිපත් විය යුතු බවයි. සැඳෑ කාලයේ ගාලූ මුවදොර හි දී දකින්නට ඇති සුවිශේෂී සන්සිද්ධීන් අපගේ ග‍්‍රහණයට නතු විය. එනම් ප‍්‍රජාව එක්තැන් කරන ”ඒකකයක්” වශයෙන් ගාලූ මුවදොර හැදින්විය හැකිය. එහි දී රැකියා අවස්ථාවන්, වාර්ගික විෂමතාවන්, වයස් පරතරයන්, විවේකය ගත කිරීම වැනි සමාජ සංසිද්ධීන් සහ පන්ති පරතරය මෙන්ම ඔවුන්ගේ රුචිකත්වයන් විවිධ බව අවබෝධ වේ. 2011 පෙබරවාරි මස 07 සහ 08 යන දිනයන්හි ගාලූමුවදොරෙහි සැඳෑ යාමයෙහි ලබා ගත් මෙම ඡායාරූප තුළින් ඒකාකාරීත්වය සහ විවිධත්වය අපේක්ෂා කරන පුද්ගල ජීවිතයන්ගේ විවිධ ස්වරූපයන් හා අවස්ථාවන් පෙන්වා දී ඇත. මෙහි දී ඡායාරූප ශිල්පයෙහි පවතින මොන්ටාජ් (Montage) මූලධර්මය සහ නූතන ඡායාරූප තාක්ෂණ ක‍්‍රමවේදයන් “Extremely close up” ඇසුරින් ලබා ගත් ඡායාරූප විශ්ලේෂණය කර ඇත.

විශ්ලේෂණයට බදුන් වන ඡායාරූප

clip_image002[4]

ඡායාරූප :01-සැඳෑ කල ගාලූ මුවදොර

විනෝදාස්වාදය සපයන සංචාරක පුරවරයක් වන ගාලූ මුවදොරෙහි ඒකරාශී වන විවිධ ප‍්‍රජාවන්ගේ දැක්ම ඉහත ඡායාරූපයෙන් නිරූපනය වේ. මෙහි දී දේශීය මෙන්ම විදේශීය සංචාරකයින්, බහු ජාතික සමාගම්, ස්වයං රැකියාවන්වල නිරත වන දේශීය පුද්ගලයින්, නිදහසේ සුව විදින පෙම්වතුන්, කායික මානසික සුවතාවයේ යෙදෙන්නන්, ආරක්ෂක නිළධාරින් සහ යාචකයින් දැකගත හැකිය. ඔවුන් විවිධ ජන වර්ග, ආගම් සහ සංස්කෘතීන්ට අයත් වේ. එබැවින් ගාලූ මුවදොර ප‍්‍රජාව එක්තැන් කරන, විවිධ සංස්කෘතීන් නියෝජනය කරන සහ මූල්‍යයමය මෙන්ම ආර්ථිකමය වටිනාකමක් සහිත භූමියක් බව විග‍්‍රහ කළ හැකිය.

clip_image002[6]

ඡායාරූප :02- උඩ පා වෙන සරුංගල් රුපියල් ශත කරන අපේ මිනිස්සු

පුද්ගලයන්ට ස්වයං රැුකියාවක් ලෙස මුදල් ඉපයිය හැකි සරුංගල් අලෙවිය ගාලූ මුවදොර තුළ වඩාත් ජනප‍්‍රිය ව්‍යාපාරයක් බවට පත්ව ඇත. විශේෂයෙන් කුඩා ළමුන්ගේ සිත් ආකර්ෂණය කර ගත හැකි අයුරින් විවිධ වර්ණ යොදා, විවිධ හැඩතල අනුව සරුංගල් නිමවා ඇති බව දැකගත හැකි වේ. තව ද බහුජාතික සමාගමක් වන කොකා කෝලා (Coca-Cola) ආයතනයෙහි දැන්වීම් කුටි මෙන්ම එහි අනුරුව රැගත් වාහන දැකගත හැකි ය. එනම් ගාලූ මුවදොරෙහි බහු ජාතික සමාගම්වලට මෙන්ම ස්වයං රැකියාවන් වලට ද වැඩි අවකාශයක් ඇති බව අනුමාන කළ හැකිය.

clip_image002[8]

ඡායාරූප :03 – මුහුදු සුළගින් ඔප් නැංවුන පවුලක අසිරිය

මෙම ඡායාරූපය තුළින් සැඳෑ සමයේ විවේක ගැනීමට පැමිණි වැඩිහිටි පුද්ගලයන් හා කුඩා දරුවකු නිරූපණය වේ. එහි දී කුඩා දරුවන්ගේ ආස්වාදයට සරිලන පරිදි විවිධ වර්ණයන්ගෙන් යුත් සෙල්ලම් බඩු දැකගත හැකිය. එහි දී කුඩා දරුවාගේ අවධානය විසිතුරු සෙල්ලම් බඩු කෙරෙහි යොමු වී ඇති බව පෙනේ. මෙම ඡායාරූපයේ (Composition) ගත් විට ප‍්‍රධාන තල තුනකට දැකිය හැකිය. එනම් අහස එක් තලයකිනුත්, මුහුද තවත් තලයකිනුත්, පුද්ගලයින් හා සෙල්ලම් භාණ්ඩ සහිත තණ බිම් ප‍්‍රදේශය තවත් තලයකිනුත් දැක ගත හැකිය.

clip_image002[10]

ඡායාරූපය: 04 – දේශීයත්වයට රුචිකරන විදේශිකයින්

මෙම ඡායාරූපය තුළින් දේශීය ආහාරවලට රුචිකත්වය ඇති විදේශිකයන් පෙන්නුම් කරයි. එනම් ”මඤ්ඤොක්කා” මිල දී ගන්නා විදේශිකයෙක් ද, ඔහු එන තුරු සිටින විදේශීය කාන්තාවක් ද මින් නිරූපිතය. තව ද ”කොකා කෝලා”(Coca-Cola) වෙළඳ කුටිය අසල එම බෝතල් දෙකක් අසල ඇතිව පුරුෂයන් දෙදෙනෙක් දැකිය හැකිය. මෙහි දී පුද්ගල රුචිකත්වයන් : (Taste) විවිධ බව අවබෝධ කරගත හැකිය. එනම් බෝර්ඩියෝට අනුව,

“රුචිකත්වය ගොඩනැගෙනුයේ භාවිත සහ වස්තු තුළිනි”.

(Bourdieu, 1995: 108)

මෙහි දී ”මඤ්ඤොක්කා” වැනි නිෂ්පාදන නිෂ්පාදන (Natural Product) විදේශයන්හි නිරන්තරයෙන් භාවිත නොවන බැවින් ගාලූ මුවදොරෙහි දේශීය නිෂ්පාදන වලට වැඩි අවධානයක් ඇති බව දැක ගත හැකිය.

clip_image002[12]

ඡායාරූපය :05- ලොවටම පෙනෙන මුත් පෙම් යුවළකට නොපෙනෙන ඔවදන

මෙහි දී විසාකා සබන් වෙළඳ ප‍්‍රචාරණ ආයතනය මගින් පුද්ගල චර්යාව පිළිබඳව අවවාදයක් සහිත දැන්වීම් පුවරුවක් සවි කර ඇත. එනම් ගාලූ මුවදොර ලොකු කුඩා කාගේත් ආකර්ෂණය, විනෝදය ගෙන දෙන අතරම විදේශිකයන්ගේ අවධානය යොමු වූ ස්ථානයකි. භාෂා තුනෙන්ම එම ඔවදන ලබා දී ඇති බැවින්, පුද්ගලයන් අවිනීතව හැසිරුණ හොත් ගාලූ මුවදොරෙහි ඇති සුන්දරත්වය නැති වනු ඇත. තව ද මෙම ඡායාරූපය තුළින් පෙම්වතුන් දෙදෙනෙකු තම මුහුණ නොපනෙන පරිදි කුඩය ආවරණය කරගෙන ඇත. ක‍්‍රැකවර් (Kracauer) දක්වන ආකාරයට ඡායාරූපය තුළින් යථාර්ථය නිරූපණය නොවන අතර එම මොහොත පමණක් නිරූපණය වේ (Kracauer, 1995). මෙහි දී ක‍්‍රැකවර් දක්වන ලද අදහස විග‍්‍රහ කළ හැකිය. එනම් පෙම්වතුන් ආදරයෙන් සිටින බව පෙනී ගියත් ඔවුන් සතු සියලූ අත්දැකීම් මින් නිරූපණය නොවේ. තව ද මෙම ඡායාරූපය Extremly Closeup Shot තුළින් ලබා ගෙන ඇත. එනම් සමීප ඡායාරූපයක් වන අතර ලබා දෙන පණිවිඩය සෘජුවම අවබෝධ වේ.

clip_image002[14]

ඡායාරූපය :06 සැඳෑවේ හමු වූ මුස්ලිම් හිතවතුන්

දවසේ වැඩ නිම වී වයස් බේදයකින්, වාර්ගිකත්වයකින් තොරව පුද්ගලයින් සැඳෑ සුවය විඳින අයුරු මින් නිරූපණය වේ. එනම් ගාලූ මුවදොර සියලූ පුද්ගලයන්ට විවෘත පාරාදීසයක් බව සිතිය හැකිය. තම ජාතියට අයත් පුද්ගලයින් මුණ ගැසෙන විට ඇතිවන මිත‍්‍රශීලී බැදීම මෙම ඡායාරූපයෙන් පෙනී යයි. මෙහි දී ඡායාරූපයෙහි දුර පෙන්වා ඇත. එනම් උස් ගොඩනැගිලි, ආහාර අලෙවිසැල් දැකගත හැකිය. තව ද මුස්ලිම්වරුන්ට අනන්‍ය වූ ඇදුම් රටාවන් වූ ස්ත‍්‍රී “හබායා” සහ පුරුෂයන්ගේ “ජුබ්බා” ඇදුම් ද හිස් වැසුම් ද සහිත මුස්ලිම් පුද්ගලයන් දැකගත හැකිය. මෙහි දී රෝලන්ඞ් බා(ර්)ත් (Roland Barthes) දක්වන ආකාරයට වටහා ගත හැකි යම් කිසි කේතයක් සැමවිටම ප‍්‍රජානනය සම්බන්ධයෙන් ඇතිවේ. ඡායාරූපය එම කේතයට සම්බන්ධයක් දක්වයි. ඒ අනුව මෙම ඡායාරූපය තුළ මුස්ලිම් ඇදුම් පැළදුම්, මුස්ලිම් ප‍්‍රජාව සංකේතවත් කරන කේත වශයෙන් හැදින්විය හැකිය.

clip_image002[16]

ඡායාරූපය : 07 – සුන්දරත්වය තුළ සැගවුණ අසුන්දරත්වය

ගාලූ මුවදොර සුන්දර මෙන්ම වාණිජ වටිනාකමකින් යුත් ස්ථානයකි. නමුත් ඒ සුන්දරත්වය තුළ අසුන්දර දසුන් දැකගත හැකිය. එනම් ලංකාවේ සෑම ප‍්‍රදේශයකම බරපතල ගැටලූවක් වී ඇති “කුණු කසල ඉවත් කිරීම” ගාලූ මුවදොරෙහි ද ගැටලූවක් වී ඇත. අවවාදයන් පනවා තිබුණත් එය පුද්ගල අවධානයට බඳුන් නොවන බව පෙනේ. මෙම ඡායාරූපය තල කිහිපයක විසිරී ඇත. පිටුපසින් සුපිරි හෝටල් දැක ගත හැකි අතර ඉදිරියෙන් කුණු කසල දැකගත හැකිය. වම් පසින් ආහාර පාන ලබාගත හැකි කුඩා කඩයක් වේ. තව ද කපුටන් දැක ගත හැකි වේ. ගාලූ මුවදොර විටෙක කපුටන්ගේ පාරාදීසයක් වනුයේ ඉවත ලන අපද්‍රව්‍යය තැන තැන දැමීම හේතුවෙන් මෙම ඡායාරූපය තුළ ඇති කුණු කසල තුළින් පුද්ගල මනසට අප‍්‍රසාදජනක හැගීම ඇති කරයි.

clip_image002[18]

ඡායාරූපය : 08 – විදේශිකයන්ට බාධාවක් වූ යදින්නන්

ගාලූ මුවදොර විදේශ විනිමය ලබාගත හැකි ස්ථානයකි. එනම් මුහුද සහ අවට වටපිටාව දේශීය මෙන්ම විදේශිකයන්ගේ අවධායට නතු වේ. නිදහස බුක්ති විදීමේ දී බාධාවන් නොපැවතිය යුතුය. විදේශිකයන්ගේ නිදහසට බාධා කරන යාචක කාන්තාවක් මෙම ඡායාරූපයේ නිරූපනය වේ. ඇයගේ ක‍්‍රියාවෙන් පලා යෑමට අනෙක් විදේශිකන් නැගිට යාමට දරන උත්සාහයක් දැකගත හැකිය. මෙහ දී Composition ගත් විට තල තුනකට දැකිය හැකිය. ඈත අහස, ගොඩනැගිලිවලින් යුක්ත ප‍්‍රදේශය සහ පුද්ගලයන් සිටින ප‍්‍රදේශය වශයෙනි.

clip_image002[20]

ඡායාරූපය :09 – කටුක නගරයේ කායික මෙන්ම මානසික සුවයත් එකම රාමුවක

නගරයේ සුන්දරත්වය හුදෙකලාව විදින විදේශිකයෙක් මෙහි දැකගත හැකිය. ඔහු විමසිලිමත් දෑසින් තමා පසු කර යන්නන් නිරීක්ෂණය කරයි. තව ද ශාරීරික සුවතාවයේ යෙදෙන පුද්ගලයන් තිදෙනෙකු අනෙක් පස දිස්වේ. ගාලූ මුවදොර මානසික මෙන්ම කායික සුවතාවයට ද යෝග්‍යය ස්ථානයකි. තව ද පසුබිමෙහි පෙනෙන අනෙකුත් ගොඩනැගිලි අභිබවා ප‍්‍රධාන මූල්‍ය ආයතනයක් වන ලංකා බැංකු (BOC) ගොඩනැගිල්ල දැකගත හැකිය.

clip_image002[22]

ඡායාරූපය :10 -මේ සියල්ල එක් තැන් වූ ගාලූ මුවදොර ආකර්ෂණයේ රහස

සාරාංශය

ගාලූ මුවදොරෙහි ලබා ගත් මෙම ඡායාරූප තුළින්, ප‍්‍රජාවේ එකතු වීම, විනෝදය ගත කිරීම, පවතින පීඩනයෙන් මිදී තම සමුහයා සමග නිදහසේ ගත කරන අයුරු මෙම ඡායාරූප තුළින් දැක ගත හැකිය. විශේෂයෙන්ම කොළඹ නගරය ආශ‍්‍රීතව පවතින බැවින් ගාලූ මුවදොර දේශීය මෙන්ම විදේශිකයන්ගේ ආකර්ෂණයට නතුව ඇත. ඉහත ඡායාරූප විමර්ෂණයේ දී ලාංකික ස්වයං රැකියා නියුක්තිකයන් ජීවත් වීමට දරණ වෙහෙස, කුණු කසල ගැටලූව සහ යාචකයින්ගේ ප‍්‍රශ්න ගාලූ මුවදොර තුළ දැකගත හැකිය.

විශේෂයෙන්ම බහු ජාතික සමාගම්හි වෙළඳ ප‍්‍රචාරණයන් දක්නට ලැබීමෙන් යටත් විජිතකරණයෙන් පසුව ස්ථාපිත කළ සෑම ආකෘතියක්ම තව දුරටත් ලාංකිකයන් අනර්ඝත්වයෙන් අගය කරන බව පෙනේ. මෙම සමස්ථ ඡායාරූප තුළින් නිරූපණය වන්නේ ගාලූ මුවදොරට පැමිණෙන්නන්ගේ වාර්ගික අනුකලනය, පංති විෂමතාවය, දේශීය විදේශීයභාවය, ආර්ථීක මට්ටම සහ ජීවන විලාශය වැනි සංකීර්ණ සමාජ සන්දර්භයන්ය. එනම් ගාලූ මුවදොර ”බහු සංස්කෘතික ඒකකයක්” වශයෙන් හැඳින්විය හැකි අතර එම තත්ත්වය ඉහත ඡායාරූප තුළින් සන්නිවේදනය කරගත හැකිය.

පාර්සන්ස්ගේ න්‍යාය ගැන්වීම් අනුව ලාංකික සමාජ පර්යාය පිළිබඳ කුඩා දැක්මක්

උන්නතී සමරවීර

ටැල්කොට් පාර්සන්ස්ට අනුව, සංස්කෘතිය, සමාජ පද්ධතිය සහ පෞරුෂය යන ප්‍රධාන සමාජයීය ප්‍රපංචයන් ත්‍රිත්ත්වයේ අනුකලනයෙන් සමාජ පර්යාය නිර්මාණය වේ. මෙහිදී සංස්කෘතියේ නිර්දේශිත ආකාරයන්ට අනුව මිනිසා හැසිරෙන අතර ඒ හරහා පුද්ගල පෞරුෂ නිර්මාණය වීම සිදු වේ. එනම් , ශ්‍රී ලංකාවේ සිංහල – බෞද්ධ සංස්කෘතිය තුළ සමාජානුයෝජනය හරහා ඉගැන්වෙන මූලික කරුණකි, පුරුෂයකු නම් කාන්තාවක සමඟත්, කාන්තාවක් නම් පුරුෂයකු සමඟත් පමණක් විවාහ විය යුතුයි යන ධර්මතාව.මෙසේ විරුද්ධ ලිංගික විවාහය පමණක් අනුමත කරන ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ, එම සංස්කෘතියට අනුගත නොවන ආකාරයේ සමලිංගිකත්වය කරා යොමු වූ පුද්ගල පෞරුෂයක් ගොඩ නැඟුනහොත් එය ගැටලුකාරී වේ.

එසේම, සංස්කෘතිය, සමාජ පද්ධතිය සමඟ ද ගැළපිය යුතු බව පාර්සන්ස් කියයි.විරුද්ධ ලිංගික ඒක විවාහ පමණක් නිවැරදි යැයි දකින නූතන ශ්‍රී ලාංකික සංස්කෘතිය තුළ සමාජ පද්ධතියේ එක් උප පද්ධතියක් වන නීති පද්ධතිය මඟින් ද විරුද්ධ ලිංගික ඒක විවාහ පමණක් නීතිගත කොට, සමලිංගික චර්යාව අපරාධයක් වශයෙන් දණ්ඩ නීති සංග්‍රහයෙහි අඩංගු කොට තිබීමෙන්, සංස්කෘතිය සමාජ පද්ධතිය සමඟ ද ගැළපිය යුතු යැයි පාර්සන්ස් දක්වන අදහස ශ්‍රී ලාංකික සන්දර්භය තුළත් නිරීක්ෂණය කළ හැකි බව විද්‍යමාන වේ.

කෙසේ වුවත්, වර්තමානය වන තුරු 365(අ) වගන්තිය ප්‍රකාරව සමලිංගික පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වූ බවට ශ්‍රී ලාංකික සන්දර්භය ආශ්‍රිතව සාක්ෂි සොයා ගැනීම අපහසු වුව ද සමාජයීය වශයෙන් එවැනි පුද්ගලයන් අතවර සහ හිංසනයන්ට ලක් වීම නිරන්තරයෙන් සිදු වන බව තහවුරු වේ.මෙහිදී පැන නඟින කරුණ වනුයේ, පවතින අගයයන්ට විරුද්ධ වීම නිසා අපගාමී චර්යාවක් වශයෙන් සාමජමය වශයෙන් බහිෂ්කරණයට ලක් වූ නමුත් ස්වකීය සමලිංගික අනන්‍යතාව සඟවාගෙන කෙසේ හෝ මෙම සමාජ පර්යාය තුළ සමලිංගික ප්‍රජාවත් ජීවත් වීම වේ.ඒ අනුව පාර්සන්ස් දකින සමස්තයට සාපේක්ෂව සුළු පිරිසක් නොගැළපිය හැකි බව තහවුරු වේ.

එසේ වුවත්, සංස්කෘතිය , සමාජ පද්ධතිය සහ පෞරුෂය යන ත්‍රිත්ත්වය අතර ප්‍රමාණවත් අනුකලනයකින් තොරව සමාජ පර්යාය පවත්වා ගෙන යා නොහැකි අතර එය ආතතියක පවතින්නක් බව පාර්සන්ස් කියයි. මෙහිදී ශ්‍රී ලංකාවේ වසර තිහක් පුරා පැවති යුද්ධය ගත් විට , එසේ යුද්ධය පැවතියදී පවා ලාංකික සමාජ පද්ධතිය පවත්වාගෙන ගිය බව අපට නිරීක්ෂණය කළ හැක. කෙසේ වුව ද මෙම අවධියේ දී පවා, පූර්ණ අනුකලනය සහ එයින් දුරස්ථ වීම අතර වන ආතතිමය තත්ත්වයක් මෙම සන්දර්භයේ ද ක්‍රියාත්මක් වූ බවක් අපට ප්‍රකාශ කළ හැකි වේ.

එනම්, හමුදා සෙබළෙකු ලෙස ‍රැකියාව ලබා යුද්ධයට එක් වූ පුද්ගලයෙකු රට ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමේ සැබෑ අභිප්‍රායයෙන් මෙන්ම උපාධියක් ලබා වි‍රැකියාවෙන් පෙළීම නිසාම හුදෙක් ‍රැකියාවක නියුතු වීමේ අරමුණෙන් ද හමුදාවට එකතු විය හැක. මෙහිදී උපාධිධාරියෙකු වි‍රැකියාව හේතුවෙන් හමුදාවට එකතු වූයේ නම් ඔහුගේ සමාජ තත්ත්වය සහ සමාජ භූමිකාව අතර යම් ඝට්ටනයක්, ආතතිමය තත්ත්වයක් ද නිර්මාණය වේ.කෙසේ හෝ පූර්ණ කැමැත්තකින් තොරව ‍රැකියාවට පැමිණිය ද, පූර්ණ අනුකලනයකින් තොරව වුවත් ඔහු එම ‍රැකියාවේ අඛණ්ඩව නියැලීමට පෙළඹිය හැක. පාර්සන්ස් දකින සැබෑ අනුකලනයේ අවම මට්ටම මෙය වේ.

මෙහිදී ”කෙසේ හෝ” සමාජ පද්ධතිය පවත්වාගෙන යන බව , පරිපූර්ණව නොව අවම මට්ටමෙන් එය සිදු වන බව පාර්සනස්ගේ තර්කය වේ. උගැන්ඩාවේ ඉඩි අමීන් ඒකාධිපති පාලනය, හිට්ලර්ගේ පාලනය, ප්‍රංශ විප්ලවය, ශ්‍රී ලංකාවේ1971 තරුණ කැ‍රැල්ල, 88-89 භීෂණ සමය ආදී වූ මේ සියලු උදාහරණ ගත් විට,පුද්ගලයාගේ සාමූහික ක්‍රියාකාරකම්වලට අවශ්‍ය අයිතීන් උල්ලංගනය වී, සමාජ අනුකලනය බිඳ වැ‍ටුණු අවස්ථා ලෙස මේවා ඉදිරිපත් කළ හැකි වේ. එසේ තිබියදී පවා පාර්සන්ස්ගේ න්‍යායේ එන ”කෙසේ හෝ” සමාජ පර්යාය පවත්වා ගෙන යන බව ප්‍රත්‍යක්ෂ වේ. මේ අනුව මිනිසා හුදෙක් තාර්කික, ආත්මාර්ථකාමී,ගණන් මිමි බලා වැඩ කරන පුද්ගලයකු ලෙස දකිමින්, ඒ තුළ එකිනෙකාට එරෙහි යුද්ධයක මිනිසා නියැලී සිටින බවට හොබ්ස් ගෙන එන අදහසට ප්‍රතිවිරුද්ධව, සමාජ පර්යාය පවත්වා ගෙන යන්නේ කෙසේද යන්න කෙරෙහි පාර්සන්ස්ගේ මූලික උනන්දුව යොමු වූ බව පැහැදිළිය.

එහිදී පාර්සන්ස් මතු කිරීමට උත්සාහ කරනුයේ, පුද්ගල අරමුණු අහඹු ඒවා නොව සමාජය තුළින් ලැබෙන ඒවා වන බවයි. එනම්, සමාජයීය වශයෙන් පිළි ගන්න වෘත්තියක නියැලීමට නම්, විශ්ව විද්‍යාල උපාධියක් ලබා ගැනීම වඩා යෝග්‍යය, යන අරමුණ මෙන්ම එම අරමුණ සාධනය කර ගැනීමට උසස් පෙළ හොඳින් සමත් වී දේශීය විශ්ව විද්‍යාලයකට ඇතුළු වීම, මූල්‍ය පහසුකම් තිබේ නම් විදේශීය විශ්ව විද්‍යාලයකට ඇතුළු වීම, නැතහොත් බාහිර උපාධිය හැදෑරීම වැනි අදාළ අරමුණ සාධනය කර ගත හැකි විවිධ මාර්ග අපට ලැබෙන්නේ ද සමාජාය තුළිනි. මෙහිදී, හුදෙක් ඒවා සමාජය මඟින් ලැබෙන නිසා පමණක් නොව, එම මාර්ගයන් නිවැරදි බව අප විශ්වාස කරන නිසාත්, ඒවා අනුගමනය කිරීමට සැබැවින්ම අපට අවශ්‍ය වන නිසාත්, අප එසේ ක්‍රියාත්මක වන බව පාර්සන්ස්ගේ අදහස වේ.

පාර්සන්ස්ට අනුව මෙසේ විශ්ව විද්‍යාලයට පැමිණ උපාධියක් ලබා ගැනීමට අප කටයුතු කරනුයේ, මෙකී අභිප්‍රේරිත අනුගත වීම හේතුවෙනි. එහිදී තමා පිළිබඳ පමණක් නොව මෙම නිවැරදි යැයි තමා හඳුනා ගත් මාර්ගයේ ගමන් කිරීම, සියලු දෙනාගේ සාමූහික යහපතට ද හේතු වන බව පාර්සන්ස් දකී. නමුත්, අඩු ආදායම් ප්‍රජාව ලෙස අප හඳුන්වන සාමාන්‍ය ව්‍යවහාරයේ දී මුඩුක්කු පරිසරය යැයි හැඳින්වෙන පරිසරයක ජීවත් වන , එම පරිසරය ආශ්‍රිතව හැදී වැඩෙන ප්‍රජාව, එම උප සංස්කෘතියේ අගයයන් වැළඳ ගෙන, අපරාධ සඳහා, මත් ද්‍රව්‍යය භාවිතය සඳහා, යොමු වන විට, එවැනි තත්ත්වයක් අභිප්‍රේරිත අනුගත වීමට වඩා වෙනස් තත්ත්වයක්ද?එය නිවැරදි බව තරයේ විශ්වාස කරමින් ඔවුන් එයට යොමු වෙනවාද? යන්න පැණයකි.

කෙසේ වුවද, සාමූහිකතවය මත පදනම්ව සංස්කෘතිය, සමාජ පද්ධතිය සහ පෞරුෂය යන ත්‍රිත්ත්වයෙහි අනුකලනයෙන් සමාජ පර්යාය පවත්වාගෙන යන බව පාර්සන්ස්ගේ න්‍යාය ගැන්වීමේ මූලික තර්කය බව පැහැදිලි වේ.